brand logo

කොවිඩ් 19ට සමාන රෝග ලක්ෂණ ඇත්නම් වහාම දන්වන්න

05 October 2020

යම්කිසි ආයතනයක ශ්වසන රෝගීන් හෝ කොවිඩ් 19 හා සමාන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබෙන අය සිටී නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිට දැන්විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගී කාන්තාවක වාර්තා වීම පිළිබඳව ඊයේ (04 වැනිදා) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුදත් සමරවීර මෙසේද පැවසීය. මාස 02කට පසුව තමයි අපට සමාජයෙන් රෝගියකු හමුවන්නේ. මේ අවස්ථාවේදී ඊළඟට අපට කරන්න තිබෙන ප්‍රධානම දේ තමයි ඇයගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම. කොවිඩ් 19 රෝගය කියන්නේ වයිරස් රෝගයක්. අප මේ සටන් කරන්නේ වයිරසයක් සමග. ඕනෑම අවස්ථාවක අපේ පාලනයෙන් ගිළිහිලා සමාජය තුළින් මතුවන්න පුළුවන්. අප දිගින් දිගටම පසුගිය කාලයේ මේ පිළිබඳව අවධාරණය කළා. ඒ තත්ත්වය අද යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. නමුත් ඉතාමත්ම වැදගත් දේ තමයි රෝහලේදී ඉතා මූලික අවස්ථාවකදී අපට මේ රෝගියා හඳුනාගන්න හැකිවීම. මේ තත්ත්වය ඉදිරියටත් තිබෙන්න පුළුවන්. ඒ නිසා සමාජයට එන සියලුදෙනා ඉතා වැදගත් කාර්යයන් කීපයක් ඉටු කරන්න තිබෙනවා. ප්‍රධානම දේ තමයි අනවශ්‍ය විදිහට සමාජයට පැමිණීමෙන් වැළකීම. ඒ වගේම මීටරයක දුරස්ථභාවය තබාගැනීම. නිසි පරිදි මුඛ ආවරණයක් පැලඳීම, දෑත් සබන් යොදා සේදීම යන සෞඛ්‍ය පුරුදු සමාජය දිගින් දිගටම සිදුකළ යුතුයි. ශිරන්තනි මානවඩු
 

More News..