brand logo

කොවිඩ් හමුවේ ගර්භණී මව්වරුන්ට විශේෂ උපදෙස් මාලාවක්

08 May 2021

කොවිඩ් පැතිරෙන මේ කාලයේ ගර්භණී කාන්තාවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශය සඳහන් කරයි. මේ සඳහා ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කර ති‌බේ.

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කාලයේ වඩාත් අවධානයෙන් කටයුතු කළ යුත්තේ ඇයි?

ගැබිණි ඔබගේත් කුස තුළ සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත් වේ. ගර්භණී කාන්තාවකට කොවිඩ්-19 වසංගතය වැළඳුණහොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත්, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිදු හේතුවකට නිවසෙන් පිටතට නොයන ලෙසත් සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාවේ අන්තර්ගතය.

කොවිඩ් 19 රෝගයෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපදින්න......

1. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථාන වල රැඳී සිටීම අවම කරන්න. 2. සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම. 3. පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම. 4. අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම. 5. නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම. කොවිඩ්-19 වසංගතයට දක්වන බිය හේතුවෙන් ගර්භණී කාන්තාවන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාරවලට යොමු වීම ප්‍රමාද වන බව දකින්නට ලැබෙන බවත් මේ නිසා ගර්භණී මවගේත් , කුස තුළ සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවිය හැකි බවත් සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශය පෙන්වා දෙයි. කොවිඩ්-19 වසංගතය අවදානම බහුල මෙම කාලයේදී සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් ඇති නම්, තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය හෝ අමතා එම සේවාවන් ගැන ලබාගත යුතු ආකාරය ගැන දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

ගර්භණී සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා” ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නැවත වරක් ඒවා මතක් කර දෙනවා නම්......

උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව (Fit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම, හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවන් අවදානම් සංඥාවක් ලෙස මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතු ය. ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි දැනුවත් කිරීම ද අනිවාර්යය වේ. මීට අමතරව..... තම පවුලේ අයෙකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ කොවිඩ්-19 රෝගියෙකු යැයි සැක කරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී දැනුවත් කිරීම. තම ආරක්ෂාව තහවුරු කිරීමට, හැකිතාක් ඔවුන්ගෙන් ඈත්ව සිටීම. යම් හෙයකින් තමාට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය දැනුවත් කිරීම හා අවශ්‍ය ප්‍රතිකාරවලට වහාම යොමුවීම සිදු කිරීම අනිවාර්යය වේ. මේ පිළිබඳව තොරතුරු තම පවුල් සෞඛ්‍ය නිලධාරී හෝ 1999 සුවසැරිය දුරකතන සේවාවට අමතා කරුණු සාකච්ඡා කළ හැකි ය .
 

More News..