brand logo

කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

02 July 2020

කොවිඩ් - 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කරයි. PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම ඊයේ (01දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණ. සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි. වේගවත් බව, ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ද නව යන්ත්‍රයට හැකි බව වෛද්‍යවරු පවසති. ඉදිරියේදී මුහුණ පෑමට සිදුවිය හැකි වෙනස් ආකාරයක වෛරසයක් හඳුනාගැනීමට ද නව PCR යන්ත්‍රය යොදාගත හැකිය. කොවිඩ් මර්දනය උදෙසා වෛද්‍ය පර්යේෂණ උපකරණ සහ පහසුකම් සැපයීමට රොටරි සමාජය රුපියල් කෝටි 12 කට අධික පරිත්‍යාග කර තිබේ. ඒ පිළිබඳව ජනාධිපතිවරයා රොටරි සමාජයේ නියෝජිතයන්ට සිය ස්තූතිය පළ කළේය. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, වෙද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, රොටරි සමාජයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අධිපති සෙබස්තියන් කරුණාකරන්, හිටපු සභාපති කේ.ආර්. රවින්ද්‍රන්, යෝජිත සභාපති පුබුදු ද සොයිසා යන මහත්ම මහත්මීහූ සහ රොටරි සමාජයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
 

More News..