brand logo

කොවිඩ් සඳහා සිංගප්පූරු වැසියන්ට ‘Tracing devices ’

16 September 2020

කොවිඩ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා මිලියන 05ක පදිංචිකරුවන්ට බ්ලූටූත් තාක්ෂණය සහිත ලුහුබැඳීමේ ටෝකන (කුඩා යන්ත්‍ර) බෙදාහැරීම සිංගප්පූරුව ආරම්භ කර ඇත. මෙම ටෝකන කරපටියක පැලඳීම හෝ අත්බෑගයක රැගෙන යෑම සිදුකළ හැක. මෙම බ්ලූටූත් උපාංගය පරිශීලකයන්ගේ වෙනත් තාක්ෂණික උපාංග සමගද සම්බන්ධ කළ හැකි අතර ස්මාර්ට් ජංගම දුරකථන භාවිත නොකරන වයස්ගත පුද්ගලයන් අතර මෙය බෙදාහැරීමට යෝජනා වී ඇත. තවදුරටත් ජනතාවට සීමා කිරීම් සහ අගුළු දැමීම් සිදුකර ඇති සිංගප්පූරුවේ කාර්යබහුල හෝටල්, සිනමාශාලා සහ ශාරීරික සුවතා මධ්‍යස්ථාන (ජිම්) තුළදී ආසාදිතයන් පහසුවෙන් සොයා ගැනීම ඔස්සේ එරට ආර්ථිකය නැවත කඩිනමින් විවෘත කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි. කොවිඩ්-19 වෙතින් වැඩි සෞඛ්‍ය අවදානමක් ඇති, ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය අඩු වැඩිහිටියන් බහුල ප්‍රදේශවල ආරම්භයේදී මෙම ටෝකන බෙදාහැරීමට නියමිතය. කෙසේ වෙතත් මෙම ටෝකන සිංගප්පූරුවේ රැඳී සිටින විදේශිකයන් ඇතුළු සියලුම පුරවැසියන්ට ලබාගත හැකිය. මේ වනවිට සිංගප්පූරුවේ සියලුම පදිංචිකරුවන් ‘සේෆ් එන්ට්‍රි’ (ආරක්ෂිත ඇතුළු වීම්) ක්‍රමයක් මගින් අධීක්ෂණය කරමින් සාප්පු සහ කාර්යාලයීය ගොඩනැගිලිවලට ඇතුළුවීමේදී පරීක්ෂා කරනු ලැබේ. ඒ වෙනුවෙන් විශේෂිත කේතයක් (QR Code) භාවිත කෙරේ. සිංගප්පූරු රජයේ තාක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ මෙම නව ටෝකනය පෞද්ගලිකත්වය පිළිබඳව සැලකිලිමත් වන ඕනෑම පුද්ගලයකුට වඩා හොඳ ආරක්ෂිත විකල්පයක් බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෛනිකව මෙම ටෝකනය ඔස්සේ ක්‍රියාත්මක යෙදුම (App) සහ දත්ත ගබඩාව පිරිසුදු කරමින් පරිශීලකයා කොවිඩ්-19 ආසාදිතයකුද නැද්ද යන්න හඳුනාගැනීම වෙනුවෙන් නව දත්ත රැස් කරනු ලබයි. නයන තරංග ගමගේ
 

More News..