brand logo

කොවිඩ් වැළඳෙන සුව සේවකයන්ට හෝටල්

22 January 2021

    කොවිඩ් ආසාදිතයන් බවට පත් වන සෞඛ්‍ය සේවකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා කාමර සියයකින් පමණ වූ හෝටලයක් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකු කොවිඩ් අරමුදලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර වෙත ඊයේ (21 වැනිදා) දැනුම් දී තිබේ. ඒ අනුව එම අරමුදලේ නිලධාරීන් ඊයේ (21 වැනිදා) පස්වරුවේම හෝටල්වලින් මිල ගණන් කැඳවා ඇත. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නි ආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ කොවිඩ් ආසාදිතයන් වන සෞඛ්‍ය සේවකයන් රැඳවීම සඳහා බස්නාහිර පළාතෙන් හෝටලයක් හෝ වෙනත් ස්ථානයක් ලබා ගත යුතු බවයි. ඒ අනුව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මෙම දැනුම්දීම කර තිබේ. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව හා හෙද ශාඛාවද වසා දමා ඇත. ඊට හේතුව වන්නේ එහි සේවකයන් නව දෙනකු කොවිඩ් ආසාදිතයන් වීමය. ඊට අමතරව කොළඹ හා තදාසන්න නගරවල පිහිටි රෝහල් රැසක සේවකයන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ. මෙම සියලු සේවකයන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එහි ද රෝගීන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ. මේ පිළිබඳව ‘අරුණ’ කළ විමසුමකදී පිළිතුරු ලබා දුන් ප්‍රාථමික සෞඛ්‍ය, කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පැවසුවේ සෞඛ්‍ය සේවකයන් සඳහා හෝටලයක් ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කළ බවයි. තවද අතුරුගිරිය ප්‍රදේශයේ ද කාමර 25ක මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කර සිටියේය. උදයජීව ඒකනායක
 

More News..