brand logo

කොවිඩ් වැලඳී මියගිය විදෙස්ගත ලාංකිකයන්ගේ රක්ෂණ වන්දි විදෙස් කාර්යාංශය හිරකරගෙන

01 January 2021

කොවිඩ් ආසාදනය වී මරණයට පත් වූ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් සියයකට ආසන්න පිරිසකගේ රක්ෂණ වන්දි යැපෙන්නන්ට ලබාදීමට අවශ්‍යවන ලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් අදාළ රක්ෂණ සමාගම වෙත යවා නැතැයි පැවැසේ. එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට මේ බව අනාවරණය කළේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වන ශ්‍රමිකයකුට රුපියල් ලක්ෂ පහක රක්ෂණ වන්දියක් සාමාන්‍යයෙන් ගෙවනු ලබයි. ඒ අනුව කොවිඩ් වැලඳී මියගිය සියයකට ආසන්න ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් රුපියල් කෝටි පහක පමණ රක්ෂණ වන්දි මුදලක් ලැබීමට නියමිතය. එමෙන්ම පිට රටවල් දෙකකදී කොවිඩ් වැලඳී මියගිය ලාංකිකයන් දෙදෙනකුට ලැබුණු රුපියල් ලක්ෂ පනහකට ආසන්න රක්ෂණ වන්දි මුදලද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ගෙවා නැතැයි ඉහත ප්‍රකාශකයා කීවේය. එම වන්දි මුදල් ලැබී ඇත්තේ පසුගිය (2020) වර්ෂයේ මැයි - ජුනි මාසවලදීය. ලියා පදිංචි වී විදෙස් රැකියාවට ගිය අය සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශය සතුව තිබියදීත් අදාළ ​ලේඛන රක්ෂණ ආයතන වෙත ඉදිරිපත් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් පියවර නොගැනීම සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීහු අප්‍රසාදය පළ කරති. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තමන්ට හිමි රක්ෂණ වන්දිය ඉල්ලා සිටියද අදාළ නිලධාරීන් කොවිඩ් වසංගතයට මුවාවී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම මගහරිමින් සිටින බව ද ඉහත ආරංචි මාර්ග පවසයි. මෙම රක්ෂණ වන්දියට අමතරව මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ආගමික වතාවත් කිරීම සඳහාද රුපියල් 40,000 ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම ඥාතීන්ට පිරිනමනු ලබයි. එහෙත් මියගිය ඇතැම් ශ්‍රමිකයන් වෙනුවෙන් මෙම රුපියල් 40,000 ක මුදලද මෙතෙක් ලබාදී නැතැයි ඉහත ප්‍රකාශකයා කිවේය. මේ සම්බන්ධයෙන් අප විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාරව සිටින විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්නගෙන් විමසා සිටියෙමු. අදාළ කරුණ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාගෙන් විමසන ලෙස රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය. ඉන්පසු සභාපති කමල් රත්වත්තගෙන් විමසීමක් කළෙමු. තමන් නිවාඩු ගොස් ඇති බැවින් සේවයට පැමිණි පසු මේ ගැන සොයා බලා පිළිතුරක් ලබා දෙන බව ඔහුගේ පිළිතුර විය. අජිත් අලහකෝන්
 

More News..