brand logo

කොවිඩ් රෝගීන්ට නිවසේදී ප්‍රතිකාර දීමේ ක්‍රමය ලංකාවට ගැළපේද?

07 May 2021

"නිවාස, ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් හුදකලා කර පවත්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දී සෞඛ්‍ය අධීක්ෂණය යටතේ රෝගීනට ඔවුන්ගේ නිවසේම රැඳී සිටීමට අවස්ථාව සලසා දීම සුදුසුද ? " එහිදී මුලින්ම පැහැදිලි කළ යුතු වන්නේ නිවසේ නිරෝධානය හා නිවසේම ප්‍රතිකාර කිරීම යන කරුණු දෙකේ වෙනසයි.

නිවසේ නිරෝධනය දැනටමත් සිදුකරන දෙයකි. එහිදී සිදුවන්නේ රෝගියකුගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඔවුනගේ නිවසේ සිටම අධීක්ෂණය කිරීමයි. නමුත් PCR පරීක්ෂණයෙන් හෝ rapid antigen පරීක්ෂණයෙන් රෝගියකු බව හඳුනා ගන්නා තැනැත්තා හෝ තැනැත්තන් ප්‍රතිකාර මධස්ථානයකට යොමුකරුනු ලබයි. එහෙත් සමහර අවස්ථාවලදී එසේ යොමු කිරීමේදී දින 2-3 ප්‍රමාදයක් ඇතිවේ.

නිවෙස තුළම රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට යෝජනා කරන අයගේ තර්කය වනුයේ ඇමරිකාව, කැනඩාව මෙන්ම යුරෝපයේ රටවල ද ආසාදිතයන් රෝහල්ගත කරන්නේ විශේෂ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පමණක් බවයි. එහෙත් එය අපේ රටට ඒ ලෙසම යොදා ගත හැකිද?

මෙහිදී විද්වත් මතය පැහැදිලි ලෙසම ද්‍රවීකරණය වී බෙදුණු මතයක් විය. සමහරුන් එයට කොන්දේසි සහිත සහයක් පළකළ අතර සමහරුන් එය කිසිසේත්ම ප්‍රඥාගෝචර කටයුත්තක් නොවන බවට අදහස් පළ කළේය. මෙම තත්ත්වය තුළ අපගේ ඒකමතික තීන්දුව වන්නේ රෝග ලක්ෂණ රහිත කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට පෙර ඒ පිළිබඳව වාසි අවාසි, සාධනීය නිශේධනීය ප්‍රතිඵල පිළිබද ගැඹුරු සාකච්ඡාවකින් හා ඉතා කලපන්කාරීව සැලසුම් කළ නියාමන ව්‍යාපෘතියකින් තොරව කිසිසේත්ම නොකළ යුතු බවයි. දැනට එවැන්නන් රෝහල් හෝ අතර මැදි ‍‍ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැක බලා ගත යුතු බව එහිදී නිගමනය විය. ආසාදිතයන් බවට තහවුරු වන රෝග ලක්ෂණ නැති සියලු දෙනා සම්බන්ධයෙන් එකම විසඳුමකට නොයා යුතු බව ද නිර්දේශ කරන ලදී. මෙහිදී සුවිශේෂ වශයෙන් ගත් කල කොවිඩ් ආසාදනයේ සංකීර්ණ සංකූලතාවලට ගොදුරු විය හැකි අය අනිවාර්යෙන්ම රෝහලක හෝ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු කළ යුතු බවට ඒකමතිකව එකඟ විය. මේ අය අතර සුවිශේෂ වශයෙන් ගත් කල වැඩිහිටි උදවිය එනම් විශේෂයෙන් වයස අවුරුදු 60 ට වැඩි හා බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, වෙනත් ශ්වසන පද්ධතියට අදාළ රෝග, ඇදුම මෙන්ම පිළිකා රෝග, වකුගඩු ආබාධ, දුම්වැටි හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ උදවිය ගැබිනි මව්වරුන් සහ හෘද රෝග හෝ වෙනත් උපතින් ඇති වූ රෝගාබාධ ඇති අය මෙන්ම, විශේෂ අවශ්‍යතාව ඇති වැඩිහිටියන් ද මේ කාණ්ඩයේ ලා සලකන ලදී.

මෙම රැල්ලේදී මතුවූ වයිරසයේ නව ප්‍රබේදය නිසා තරුණ අයටද අවදානමක් ඇති බව අමතක නොකළ යුතුය.

ඒ අතරම මහල් නිවාස හෝ ඒවායේ ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාවට සරිලන ඉඩකඩ නොමැති නිවෙස්වල ජීවත් වන අය ද, රෝගියකුට තනියෙන් වැසිකිළියක් හෝ කාමරයක් පවා ලබාදීමට තරම් පහසුකම් නොමැති නිවෙස්වල ජීවත් වන අයද, මූලික අවශ්‍යතාවයන් නිසි ආකාරයෙන් නොමැති නිවාස හෝ වතු නිවාස සංකීර්ණ තුළ ජීවත්වන අය ද, අනිවාර්‌යෙන් රෝහලකට හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කළ යුතුය.

මීට අමතරව රෝගියාගේ හෝ ඔහුගේ පවුලේ ඉල්ලීම සහ තීන්දුව රෝහලක හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැකබලා ගැනීම නම්, එම කැමැත්තට ඉඩ දිය යුතු බවට එකඟතාවයකට එන ලදී.

එහෙත් එවන් අවස්ථාවක පෞද්ගලික රෝහලක හෝ මුදල් ගෙවා පවත්වාගෙන යන ලබන අතරමැදි ‍‍‍ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලබා දෙනවාද නැද්ද යන්න සාකච්ඡා කළ යුතු බවටද එකඟතාවයකට පැමිණියේය. මෙය මුදල් ඇති හෝ සමාජයේ වරප්‍රසාද ඇති අයට දෙන වරප්‍රසාදයක් ලෙස නොසැලකිය යුතු බවත්, එවන් ක්‍රියාමාර්ගයක් තුළ රෝහල් පද්ධතියට ඇතිවන අනවශ්‍ය පීඩනය යම් ප්‍රමාණයකින් අඩු කරගත හැකි බවත් එහිදී එකඟතාවයකට පැමිණියේ.

එහෙත් රෝගය වැලඳුණ අය අතුරින් තම නිවස තුළම ප්‍රතිකාර සඳහා කැමැත්ත පළ කරන උදවියට ඒ සඳහා අවස්ථාවක් දිය හැකිද යන්න ගැඹුරින් සිතා නොබලා, නියාමන ව්‍යාපෘතියකින් කරුණු දැන ගැනීමකින් තොරව කිසිසේත්ම නොකළ යුතු බව ද එකඟතාව ඇති විය. එය බරපතළ අනිසි විපාක ගෙන ඒමට ඉඩ ඇත.

එවන් නියමු ව්‍යාපෘතියකට අමතරව, මේ වන විට කොවිඩ් අාසාදිතයන්ගේ පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයන් තම නිවාසවලදී නිරෝධානය කිරීමට කරනු ලබන කටයුතු පිළිබඳ හොඳ පසු විපරමක් කොට එයින් උගත යුතු සියලු පාඩම් ද ඉගෙන ගැනීමකින් තොරව මෙම කටයුත්තට කිසිසේත්ම අවතීරණ නොවිය යුතු බවට ද එකඟතාවය පළ කරන ලදී. මන්ද නිරෝධාන ක්‍රියාවලියේද පවා සිදුවන යම් යම් අඩු පාඩු අපට සහමුලින්ම බැහැර කළ නොහැකි නිසාය. යම් හෙයකින් එවැනි නියම ව්‍යාපෘතිවලින් පසු රෝග ලක්ෂණ රහිත උදවිය තමන්ගේ නිවස තුළම රැකබලා ගැනීමට සෞඛ්‍ය පද්ධතිය තීන්දු කළ හොත් ඒ හා බැඳුණු අනිවාර්ය සාධක කීපයක් පිළිබඳව එකඟතාවයකට එන ලදී. එනම් එම නිවස්නයක් තුළ සිටින උදවියගේ රෝගී තත්ත්වය දිනෙන් දින වෛද්‍ය තක්සේරුවකට ලක් කරනු ලබන්නේ කවුරුන් විසින්ද, ඔවුන් නියාමනය කරනු ලබන්නේ කොයි ආකාරයකට ද, යම් හෙයකින් ඔවුන් ගේ රෝග ලක්ෂණ නරක අතට හැරුණ හොත් ඔහු ගෙන යනු ලබන රෝහල හෝ දැඩි සත්කාර ඒකකය කුමක්ද යන්නත්, එවන් ස්ථානයට ගෙන යාම සඳහා පූර්ව සැලසුම් එකඟව තිබීමත් අනිවාර්ය විය යුතු බවට නිර්දේශ විය. ඒ ආකාරයටම කොවිඩ් අාසාදිතයකු නිවාස තුළ රැක බල ගැනීමේ මූලික අවබෝධය ලබා දිය හැකි මෙන්ම හෙද සත්කාර සෞඛ්‍ය ආරක්ෂිතව කළ හැකි අයකු ගෙදර සිටිදැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු විසින් තීරණය කළ යුතු බවද නිර්දේශ විය. රෝගියාගේ අප ද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම ඔහු පාවිච්චි කර ඉතිරිවන දේවල් බැහැර කිරීම වැනි දේ පිළිබඳවද සැලකිය යුතුය. ඉහත සියල්ල ඉටු කිරීම දැනටමත් සිමාවේ ආසන්නයටම පැමිණ තිබෙන සෞඛ්‍ය පද්දතියට අමතර බරක් වන බවද සකච්ච්ඡාවට ලක්විය. එසේම එය රෝග ව්‍යාප්තියට රුකුලක් වීමටද ඉඩ ඇත.

මෙවන් පසුබිමක මොනතරම් අභියෝගයක් වුවද රෝගීන් ප්‍රතිකාර මධස්ථානයකදී රැක බලා ගැනීම වඩාත් ප්‍රඥා ගෝචර කටයුත්තක් වනු ඇත.

සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් දරන මතය ගැන ජනතාව හිතන්නේ කෙසේදැයි සොයා බැලීම වැදගත් බවද මෙහිදී තීරණය විය. එහිදී තමන්ට කොවිඩ් ආසාදනය වී ඇත්නම්, එහෙත් රෝග ලක්ෂණ නොමැති නම් රෝහල් ගත වීම හෝ නිවසේ සිටීමට කැමැත්ත පළ කළ කණ්ඩායම අතර සංඛ්‍යාත්මකව ලොකු වෙනසක් නොවීය. එය සම සම වශයෙන් බෙදී ගිය අතර පිරිමි ගැහැනු භේදයකින් තොරව එම තීන්දුව වලංගු විය. අධ්‍යාපන මට්ටම සැලකීමේදී ඉහළ අධ්‍යාපනයක් සහිත මෙන්ම සහ තම තමන්ගේ නිවාසවල පහසුකම් තිබෙන උදවිය, තමන්ගේ නිවස තුළ රැඳීමට කැමැත්ත පළ කළ ද ඒ හා සමානව ප්‍රමාණයක් කැමැත්ත පළ කළේ එම පහසුකම් තිබුණද ඔවුන් රෝහලක හෝ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවා සැපයුම් ලබා ගැනීමට කැමති බවයි. මෙම ක්‍රම දෙකේම වාසි සහ අවාසි ඇත. මෙම සාකච්ඡාවට දායක වූවන් අතර වසංගත රෝග පිළිබඳ විශේෂඥයන්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරන් විශ්වවිද්‍යාල ප්‍රජා සෞඛ්‍ය මහාචාර්යවරුන්, වෙනත් වෛද්‍ය වෘත්තිකයන් මානසික රෝග විශේෂඥයන්, කායික රෝග විශේෂඥයන් හා පර්‌යේෂකයන්ද විය. [caption id="" align="alignnone" width="200"]Scientific Cabinet By Prof Athula Sumathipala – GMOA සෞඛ්‍ය සහ සමාජ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක සහ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සභාපති මහාචාර්ය අතුල සුමතිපාල[/caption]
 

More News..