brand logo

කොවිඩ් දෙවන රැල්ලක අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නෑ

16 September 2020

කොවිඩ්-19 දෙවන රැල්ලක අවදානම මුළුමනින් ම රටෙන් පහව ගොස් නැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අද (16) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් කොවිඩ් දෙවන රැල්ලක තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවයි. මේ හේතුවෙන් නොසැලකිලිමත්කම සහ නොතකා හැරීම් වෙනුවට සැම මොහොතකම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනයක් පවත්වා ගැනීමට සියලුදෙනා වගබලාගත යුතු බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි. මේ අතර කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමාපියන්, ගුරුවරුන්, සිසු සිසුවියන් ඇතුළු සමස්ත ප්‍රජාව මේ වන විට අඩු අවධානයක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධ තොරතුරු වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි. දරුවන් පාසල් සදහා යොමු කිරීමේදී ප්‍රවාහන, ආපන ශාලා ඇතුළු දරුවන් සෘජුව සමාජයට මුදාහැරෙන සෑම අවස්ථාවකම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සමාජ වගකීම පාසල්වල බලධාරීන්ට පැවරෙන බව එම අමාත්‍යංශ්‍ය පෙන්වා දෙයි.
 

More News..