brand logo

කොවිඩ් එන්නත අපිට ලැබෙන්න වසර 3ක්වත් යයි

13 November 2020

කොවිඩ් 19 ආසාදිතයන්ට භාවිත කළ හැකි විදේශීය සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය මෙරටට ලැබීමට අවම වශයෙන් වසර තුනක්වත් ගතවනු ඇති බවත් වයිරසය සහමුලින්ම තුරන් වීමට නම් සමාජයෙන් සියයට අසූවකටවත් එන්නත ලබාදිය යුතු බවත් ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ඊයේ (12 වැනිදා) පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන නව එන්නත දිය යුතු මෙරට සමාජයේ සියයට විස්සක පිරිස නම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය කමිටුවක් පත්කර ඇති නමුත් වයිරසය සහමුලින්ම ඉවත් කිරීමට එය විකල්පයක් නොවන බවද හෙතෙම කීවේය. කොවිඩ් 19 සහ රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කොළඹ පිහිටි ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයේ ඊයේ (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කීවේය. එහිදී ඔහු මෙසේද පැවැසීය. ‘‘1935 වසරේදී ලංකා සම සමාජ පක්ෂය ආරම්භ වුණ කාලයේ ලොව පුරා මැලේරියා රෝගය ව්‍යාප්ත වෙලා තිබුණා. මේ රෝගය අපේ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් අපි පක්ෂයක් විදිහට එදා දැක්වූ සහායම අද ලෝකයටම ප්‍රශ්නයක් වුණු කොවිඩ් 19 වයිරසය පාලනය වෙනුවෙන්ද ලබාදෙනවා. ෆයිසර් කියන විදේශීය සමාගම නිෂ්පාදනය කර ඇති කොවිඩ් 19 වයිරසයට එරෙහි RNA නමැති වයිරස අපේ රටේ සමාජයෙන් සියයට 20ක පමණ පිරිසකට ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය පොරොන්දු වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරියත් මේ එන්නත් දෙන්න සුදුසු සියයට විස්සක පිරිස හොයන්න කමිටුවක් පත්කරලා තියෙනවා. රටේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමට නම් ජනතාවගෙන් සියයට අසූවකටවත් එය එන්නත් කළ යුතුයි. ඒ තත්ත්වය ලංකාවේ ඇති කිරීම සැක සහිතයි. සියයට 60ක් වගේ ප්‍රතිශතයකට එන්නත ගන්න වෙන්නේ මිලදී ගෙනයි. ඒ සඳහාත් වසර තුනක්වත් බලා සිටිය යුතුයි. මේ සමාගමේ එන්නත ලෝකයේ රටවල් රැසක් ඇණවුම් කළ නිසා අපි ඉන්නේ පොරොත්තුවේ. මේ නිසා මේ වයිරසය පාලනය කරගන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මීටරයේ දුර තියා ගනිමින් සිටින්න කියලා අපි ඉල්ලා සිටිනවා.’’   එෆ් - අස්ලම්
 

More News..