brand logo

කොවිඩ් එන්නතෙන් දරුපල වලට වන බලපෑම

17 April 2021

1796 දී වෛද්‍ය එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය එන්නත (ස්මෝල් පොක්ස් එන්නත) සොයාගත් දා සිට, ආසාදන හේතුවෙන් මිය යා හැකිව තිබූ ජීවිත මිලියන ගණනක් එන්නත්කරණය මගින් බේරුණේය. එන්නත මගින් සිරුරට ලැබෙන හිතකර  ප්‍රතිඵලය ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වේ. කක්කල් කැස්ස, ක්ෂය රෝගය සහ සරම්ප වැනි මාරාන්තික රෝග මෙකී එන්නත්කරණය මගින් වළක්වා ඇත. වසූරිය රෝගය  සාර්ථක එන්නත් ව්‍යාපාරයක් හේතුවෙන් 1977 දී ලෝකයෙන් තුරන් කරන ලදී. එමෙන්ම  පෝලියෝ නැමැති ආබාධිත තත්ත්වය බොහෝ දුරට එන්නත් මගින් ලොව පුරා මර්දනය කරනු ලැබිණි. මීට වසරකට පෙර කොවිඩ් 19 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්ට අනුව, කොවිඩ්  එන්නත් කළු වලා මධ්‍යයේ ඇති රිදී රේඛාවක් ලෙස, වසරක් පුරාවට ලොවම කැලැඹීමට ලක් කළ රෝගයක් තුරන් කිරීම ගැන අපට  යම් බලාපොරොත්තු දෙන බව පැහැදිලියි.  එනමුදු  ප්‍රමුඛ ජෛව ඖෂධ සමාගම් විසින් විවිධ එන්නත් වෙළෙඳ නාම හඳුන්වාදීමත් සමග මේවායේ ප්‍රයෝජන සම්බන්ධයෙන් යම් මතවාද හා ගැටුම් මතු වී තිබේ. මෙම ලිපිය මගින් COVID-19 එන්නත සම්බන්ධයෙන් ඉතා සරල මග පෙන්වීමක් දීම අප අරමුණ වේ. මහජනයා එන්නත් පිළිබඳව අසන ගැටලුවලට ලංකා කායික වෛද්‍යවරුන්ගේ සංගමයහි වත්මන් සභාපති මහාචාර්ය සේනක රාජපක්ෂ සහ එහි පසුගිය වසරේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් අපි පිළිතුරු ගත්තෙමු. මහාචාර්ය සේනක රාජපක්ෂ දැනට වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ධුරය හොබවයි.  වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොළඹ IDH රෝහලේ විශේෂඥ  වෛද්‍ය ධුරය හොබවන අතර කොවිඩ් 19 රෝගයට එන්නත ගත් පළමු ශ්‍රී ලාංකිකයා ද වේ. ලංකා කායික වෛද්‍යවරුන්ගේ සංගමය යනු සියලුම කායික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ කේන්ද්‍රීය සංවිධානයයි. මෙම සංවිධානය 1967 දී ආරම්භ විය. එතැන් සිට යාවත්කාලීන වෛද්‍ය දැනුම ව්‍යාප්ත කිරීම, පර්‌යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටී. වෛද්‍ය දැනුම බෙදා හැරීමේදී ලංකා කායික වෛද්‍යවරුන්ගේ සංගමය ජාතික සෞඛ්‍ය සේවා න්‍යාය පත්‍රයට ඵලදායී ලෙස සහය දෙයි. එමගින් වෛද්‍යවරුන්ට සහ මහජනයාට  සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙයි . අප විශේෂඥ වෛද්‍යවරුන් සැමවිටම  විශ්වාස කරන්නේ නිවැරදි කරුණු පිළිබඳව මහජනයා දැනුවත් කළ යුතු බවයි. එමෙන්ම සමාජ මාධ්‍යවල සංසරණය වන සාවද්‍ය කරුණු මගින් ඔවුන් නොමග නොයවා ජනතාව එන්නත පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට සූදානම් කරලීම අප අරමුණ වේ. කොවිඩ් 19 ආසාදනයට එන්නත් කිරීමෙන් අපට ලැබෙන වාසි මොනවාද? කොවිඩ් එන්නතෙන් දරුපල වලට වන බලපෑම එන්නත් කිරීමෙන් අප හට ලැබෙන ප්‍රතිලාභ රාශියක් ඇත. එන්නත දීමෙන් රෝගය වැලඳීමේ අවදානම 70% කින් පමණ අඩු වේ. යම්කිසි ආකාරයකට වයිරසය ශරීරගත වූවත් රෝගය බරපතළ වීම සහ රෝහල්ගත වීමේ අවශ්‍යතාවය මෙම එන්නත මගින් 94% කින් අඩු කරයි. සරලව කිවහොත්, එන්නත මගින් රෝගය වැලඳීමේ සම්භාවිතාව අඩු කරන අතර එන්නත ගත් පුද්ගලයකුට ආසාදනය වුව ද දරුණු වෛද්‍ය සංකූලතා හා මරණය ඇති හැකියාව අවම කරයි. දැනට කොවිෂීල්ඩ් එන්නත (ඇස්ට්‍රාසෙනෙකා, ඉන්දියානු එන්නත) සහ ස්පුට්නික් වී එන්නත (රුසියානු එන්නත) යන එන්නත් ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමත කර ඇත. වර්තමාන එන්නත් කිරීමේ ක්‍රියාවලිය කුමක්ද? වයස අවුරුදු 18 ට වැඩි සෑම කෙනකුටම වෙනත් ගැටලු නොමැතිනම් එන්නත් කිරීම සුදුසු බවට  දැනට විද්‍යාත්මක සාක්ෂි තිබේ. මෙහි පළමු මාත්‍රාව මගින් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමට ඇති හැකියාව 70% ක් පමණ වළකාලයි . බූස්ටර් මාත්‍රාව ලෙස හඳුන්වනු ලබන  දෙවන මාත්‍රාව මෙම මාරාන්තික රෝගයෙන් බේරීමට 95% ක් දක්වා ආරක්ෂාවක්  දීම සඳහා ශරීර  ප්‍රතිශක්තිය තවදුරටත් වැඩි කරයි. ඔබට දෙන්නේ කොවිෂීල්ඩ් එන්නත නම් දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් සති 10 -12 කට පසුවත්,  දෙන්නේ ස්පුට්නික් වී එන්නත නම් දෙවන මාත්‍රාව සති 3 කට පසුවත් දිය යුතුවේ. එන්නත සාමාන්‍යයෙන් වම් අතේ ඉහළ කොටසේ මාංශ පේශි තුළට එන්නත් කරනු ලැබේ. මෙම එන්නත මගින් කොවිඩ් 19 රෝගය ශරීරගත විය හැකිද යන්න පිළිබඳ අනවශ්‍ය බියක්  සමහරුන්ට ඇත. එන්නතේ කොවිඩ් 19 වයිරසය අඩංගු නොවන බැවින් මෙලෙස රෝගය වැලඳීමට හැකියාවක් නොමැති බව අපි වගකීමෙන් පවසමු. එමෙන් එන්නත මගින් කොවිඩ් 19 සොයා ගන්නා පී.සී.ආර්. පරීක්ෂණය ධනාත්මක නොවේ. එන්නත්කරණයෙහි අතුරු ආබාධ සහ කළ නොකළ යුතු දෑ මොනවාද? ශරීර වේදනාව, උණ, හිසරදය සහ සන්ධි වේදනාව වැනි සුළු සංකුලතා පැය 48 ක් දක්වා ඔබට ඇතැම්විට  අත්විඳීමට සිදුවේවි. කෙසේ වෙතත්, එන්නත දී පැය 48 ක් ඉක්මවා යමෙකුට උණ තිබේ නම්, එය ඩෙංගු උණ වැනි වෙනත් රෝගයක් නිසා විය හැකිය. එබැවින් අඛණ්ඩ උණ ඇති අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුය. එන්නත් කිරීමෙන් පසු රුධිර කැටි ගැසීම් ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි මේ දක්වා හෙළිවී නොමැත. බොහෝ අය නිතර අසනු ලබන ප්‍රශ්නයක්  නම් එන්නත් කළ වහාම ඔවුන් කළ යුත්තේ කුමක්ද යන්නයි. අප කලින් පැවසූ  රෝග ලක්ෂණ සඳහා පැරසිටමෝල් ගත හැකි නමුත් විශාල අතුරු ආබාධ නොමැති නම්, එදිනෙදා කටයුතු ඔබට  බාධාවකින් තොරව කරගෙන යා හැක.  එන්නත දීමෙන් පසු ස්නානය කිරීම හෝ ඇඟපත සේදීම සිදු කළ හැක. තවත් අපහට නිතර අසන්නට ලැබෙන විමසුමක් වන්නේ අතුරු ඵල අත්විඳීම සහ එන්නතෙන් යම් කෙනෙකුට ලැබෙන ප්‍රතිශක්තිය අතර සම්බන්ධතාවක් තිබේද යන්නයි. අතුරු ඵල සහ ප්‍රතිශක්තිය අතර එවැනි සම්බන්ධයක් නොමැති බව අප අවධාරණය කර සිටිමු. එක් ඉතා වැදගත් කරුණක් නම්, එන්නත මාත්‍රාවන් දෙකම ලැබීමෙන් පසුවත්  මුහුණු ආවරණ පැලඳීමේ, අත් සේදීමේ  සහ සමාජ දුරස්ථභාව පවත්වා ගැනීමේ ඇති වැදගත්කමයි. ප්‍රතිශක්තිකරණයට ලක්වූ පුද්ගලයන්ට රෝග ලක්ෂණ නොමැතිව රෝගය වැලඳිය හැකි බැවින්, ඔවුන් නිරෝගී පුද්ගලයන් වෙත වයිරසය පැතිරීමේ හැකියාවක් ඇත. එබැවින් එන්නත ගන්නා සියලු දෙනා ඔවුන්ගේ ආරක්ෂක ක්‍රමෝපායන් අඛණ්ඩව පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත්ය. එන්නත නොදිය යුත්තේ කාටද? උණ ආශ්‍රිත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්, ගැබිනි සහ මව්කිරි දෙන මව්වරුන් එන්නත් කිරීමේ ක්‍රියාවලියට  සහභාගි කර නොගැනේ. ගර්භණී සමයේදී සහ මව්කිරි දීමේදී එන්නත නිර්දේශ නොකරන්නේ දිගු කාලීන සමීක්ෂණ දත්ත නොමැති බැවිනි. බෝ නොවන වෙනත් රෝග තත්ත්වයන් ඇති අයට හෝ අහිතකර ජීවන රටාවකට හුරුවූ අයට එන්නත ගත හැකිද? දියවැඩියාව ඇති රෝගීන්, ඇදුම / සීඕපීඩී (COPD) වැනි දිගුකාලීන පෙණහලු ආශ්‍රිත රෝගී  තත්ත්වයන් සහිත රෝගීන්, වැඩිහිටි හෘද රෝග (හෘදයාබාධ හැදුණු) රෝගීන්, කුඩා කළ සිටම හෘද රෝග ඇති අය, වකුගඩු රෝගීන්, ආතරයිටිස් රෝගීන් සහ සිරෝසිස් ඇතුළු අක්මා රෝගවලින් පෙළෙන අය එන්නත ගත යුතුය. මෙකී රෝග නිසා කොවිඩ් ආශ්‍රිත බරපතළ සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. එබැවින් දිගු කාලීන රෝගාබාධවලින් පෙළෙන අයට කොවිඩ් 19 එන්නත දීමේ වැදගත්කම අපි අවධාරණය කරමු. දුම් පානය කරන සහ මත්පැන් පානය කරන පුද්ගලයන්ද  කොවිඩ් 19 එන්නත ගත යුතුවේ. දුම්පානය කරන්නන් අතර කොවිඩ් 19 ආශ්‍රිත සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ලොව පුරා කර ඇති පර්‌යේෂණවලින් පෙනී ගොස් ඇති බැවින්  එම නිසා මෙම කාණ්ඩයේ පුද්ගලයන්ටද  එන්නත දීම අවශ්‍යය. එන්නත සඳහා ඉහළ වයස් සීමාවක් නියම කර නොමැති නිසා වැඩිහිටියන් හට එන්නත් කිරීමේ ක්‍රියාවලියට   සහභාගී වන ලෙස උපදෙස් දෙනු ලැබේ. ඔබ ගන්නා දිගු කාලීන ඖෂධ සහ එන්නත්කරණය වෙනත් රෝග සඳහා දිගු කාලීන ඖෂධ ලබාගැනීමේදී එන්නත ගැනීම පිළිබඳ අධ්‍යයන ගණනාවක් කර ඇත. පහත සඳහන් රුධිරය  මත බලපාන  ඖෂධවලින්  එකක් හෝ දෙකක් ගන්නා රෝගීන් හට - ඇස්පිරින් (aspirin), ක්ලෝපිඩොග්‍රල් (clopidogrel), ඩයිපිරිඩමෝල් (dipyridamole),  ටිකාග්‍රෙලර් (ticagrelor), ප්‍රසුග්‍රෙල් (prasugrel) - එන්නත් කිරීමට සහභාගී විය හැක. මෙහිදී එන්නත් කිරීමට පෙර හෝ පසුව ඖෂධ  නැවැත්වීමට අවශ්‍ය නොවේ. “වෝෆරින්” (warfarin) ඖෂධය ගන්නා අයට ඔවුන්ගේ INR පරීක්ෂණ අගය  3 ට වඩා අඩු නම් එන්නත  ගත හැකිය. එන්නත් කිරීමට පෙර වෝෆරින් නැවැත්වීමට අවශ්‍ය නැත. INR පරීක්ෂණ අගය  3 ට වඩා වැඩි නම්, මෙම රෝගීන්ට එන්නතට පෙර ඔවුන්ගේ වෛද්‍යවරුන් හමුවී උපදෙස් ලබාදීම අප අනුමත කරමු. ඩැබිගැට්‍රන් (dabigatran), ඇපික්සබැන් (apixaban), සහ රිවරොක්සබැන් (rivaroxaban) වැනි විශේෂ ඖෂධ ගන්නා අයට එන්නත ගත හැක . ඉහත ඖෂධ තුන ගන්නා අය  ඊළඟ (පශ්චාත් එන්නත්) බෙහෙත් මාත්‍රාව එන්නතෙන් පසු පැය 6 ක් පමණ ප්‍රමාද කළ යුතුය. පිළිකා නාශක ඖෂධ( කීමොතෙරපි), විකිරණ ආශ්‍රිත ප්‍රතිකාර (රේඩියෝතෙරපි)  , ඇසතයෝප්‍රීන් (Azathioprine), ප්‍රෙඩ්නිසොලෝන් (prednisolone), ඩෙක්සමෙතසෝන් (dexamethasone), සයික්ලොස්පෝරින් (cyclosporin), ටැක්‍රොලිමස් (tacrolimus)  හෝ ඒ හා සමාන ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් ගන්නා රෝගීන්ට කිසිදු ගැටලුවක් නොමැතිව එන්නත් ලබා ගත හැකිය. කොවිඩ් 19 ආසාදනය වූවන් හට උපදෙසක් කොවිඩ් 19 වලින් දැනටමත් ආසාදනය වී සුවපත් යැයි සැලකෙන පුද්ගලයකුට එන්නත දෙන්නේ නම් කුමක් කළ යුතුද? සුවය ලැබීමෙන් සති 2 කට පසුව අප එන්නත ගැනීම  නිර්දේශ කරමු. වෙනත් රෝගයක් සඳහා එන්නතක් දුන්නේ නම්, කොවිඩ් එන්නත  ගැනීමට පෙර එකී එන්නත  දී සති 2 ක  අවම පරතරයක් තිබීම නිර්දේශයයි. එසේම වෙනත් එන්නතක ඊළඟ මාත්‍රාව  දිය යුත්තේ කොවිඩ් එන්නතෙන් සති දෙකකට පසුවය. අාසාත්මිකතා ඇති රෝගීන්ට වෛද්‍ය අධීක්ෂණය යටතේ එන්නත  ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මිථ්‍යාවන් දුරු කිරීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලියට මහජනතාව උනන්දු කරවීම එන්නත සහ දරුඵල ලැබීම කෙරෙහි එහි බලපෑම පිළිබඳ ඇතැම් මිථ්‍යා මතයන් සමාජගත වී  ඇත. ප්‍රතිශක්තිකරණයේ අතුරු ඵලයක් ලෙස දරුඵල නොලැබීම ගැන කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බැවින් මෙම ප්‍රකාශයන් බැහැර කිරීමට අපි කැමැත්තෙමු. සමාජය  තුළ විවිධ කොවිඩ් 19 වයිරස් ප්‍රභේදයන් මතුවෙමින් පවතින හෙයින්, මෙම නව ප්‍රභවයන්ට එරෙහිව එන්නතෙහි කාර්යක්ෂමතාව පිළිබඳව නිතර ගැටලු බොහෝ දෙනා තුළ ඇත. දැනට භාවිතයේ පවතින එන්නත එක්සත් රාජධානියෙන් මතුවූ කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා උපකාරි වනබව පැහැදිලිය. මෙම එන්නත දකුණු අප්‍රිකානු ප්‍රභේදය ආශ්‍රිතව රෝගී වූවන්ගේ රෝගයේද  බරපතළකම අඩු කරයි. අවසාන වශයෙන් අපි  ලංකා කායික වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් කොවිඩ් 19 එන්නත ලබා දීමේ ක්‍රියාවලියට සක්‍රියව සහභාගී වීමට සුදුසුකම් ලත් සියලුම වැඩිහිටියන් දිරිමත් කිරීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද රෝග ව්‍යාප්තිය අවම කිරීමේ ප්‍රධාන ක්‍රමෝපාය මෙය බව අපි තරයේ විශ්වාස කරමු.

ලිපිය සකස් කරන ලද්දේ, ලංකා කායික වෛද්‍යවරුන්ගේ සංගමයෙහි ලේකම් විශේෂඥ වෛද්‍ය චමිලා මෙත්තානන්ද එහි කාරක සභික විශේෂඥ වෛද්‍ය හිමන්ත අතුකෝරල

 

More News..