brand logo

කොවිඩ් ආසාදිත මව්වරුන්ට ලැබෙන දරුවන්ට සංකූලතා වැඩියි

07 May 2021

කොවිඩ් ආසාදිත වූ ගර්භණී මවුවරුන් රඳවා තබා ගැනීමට ඒ ඒ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 200ක පමණ අවශ්‍යතාවයක් පවතින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා පැවැසීය. එසේම දිස්ත්‍රික්කවල ජන අනුපාතය අනුව කොවිඩ් වැලඳී ගර්භණී මවුවරුන්ට ප්‍රතිකාර ලබාදීමට දැඩි සත්කාර ඇඳන් 10ක් පමණ වෙන් කළ යුතු බවද ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. මෙහිදී මුල්ලේරියාව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක ප්‍රකාශ කළේ වයස අවුරුදු 35ට වැඩි සහ ස්ථුලතාවය ඇති ගර්භණී මවුවරුන්ට කොවිඩ් ආසාදිතවීමෙන් පසු ඇතිවන සංකූලතා වැඩි බවයි. එසේම ගර්භණී මවුවරුන්ට සේවා ස්ථානයට නොගොස් නිවසේ සිට වැඩ කිරීමට හැකි සෑම අවස්ථාවකම ඉඩ ලබාදෙන ලෙසද වෛද්‍යවරයා ආයතනවලින් ඉල්ලා සිටියේය. තවද ගර්භණී මවක් සිටින ප්‍රදේශයක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත්නම්, ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට දැනුම් දිය යුතු බවද පැවැසීය. මෙහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් ප්‍රකාශ කළේ පසුගිය මාස හය ඇතුළතදී කොවිඩ් ආසාදිත වූ මවුවරු දහසක් පමණ සුවඅතට හැරී ඇති බවය. එසේම ගර්භණී වී සති 28ක පමණ කාලයක් ඇතුළතදී කිසිදු කොවිඩ් රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද මෙහිදී පෙන්වා දුන්නේය. එසේ කොවිඩ් ආසාදිත වී ඇත්නම් ලැබෙන දරුවාට සංකූලතා වැඩිවිය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා කියයි. වරුණි පෙරමුණ
 

More News..