brand logo

කොවිඩ් ආසාදිතයින් කෝටි 40 ඉක්මවයි

09 February 2022

නව රැල්ලක් හටගැනීමේ අවදානමක්

ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද (09) කෝටි 40 ඉක්මවා ගියා. ඒ අතර මියගිය කොවිඩ් ආසාදිතයින් ගණන 5,782,786ක්. මේ අතර ඔමික්‍රොන්, ඉන්දියාවේ ප්‍රමුඛතම වෛරස ප්‍රභේදය බවට පත්වී ඇති බව එරට සෞඛ්‍ය ඇමතිවරයා නිවේදනය කර තිබෙනවා. කෙසේ නමුත් ජනවාරි 21 වැනි දායින් පසු එරට දෛනික ආසාදිතයන් අඛණ්ඩව පහළ බසිමින් ඇතැයිද ඔහු සඳහන් කළා. ගෙවුණු දිනයේ ඉන්දියාවෙන් හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 69,441ක්. ඊයේ (08) ලොව වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව දෙලක්ෂ දොළොස්දහස ඉක්මවා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් රට තුළ පවතිද්දි කොවිඩ් පාලන සීමා ලිහිල් කිරීමෙන් නව රැල්ලක් හටගැනීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු අඟවනවා. ජර්මනියේ ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් පාලන සීමා ලිහිල් කරන ලෙස සිදුකරන ඉල්ලීම් වැඩිවෙමින් ඇති පසුබිමකයි ඔහු මේ ප්‍රකාශය සිදුකළේ. කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීම ඇතුළු කොවිඩ් පාලන සීමාවලට එරෙහිව නවසීලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ඊයේ විරෝධතාවක් පවත්වා තිබෙනවා. ට්‍රක් රථවල නලා නාදකරමින් පැවැත්වූ මේ විරෝධතාව කැනඩාවේ කොවිඩ් පාලන සීමාවලට එරෙහි විරෝධතාවට සමාන මුහුණුවරක් ගෙන තිබුණා. අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් 2022 වසරේ පළමු කතාව ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමක මේ විරෝධතාව පැවැත්වීම විශේෂත්වයක්. කෙසේ නමුත් විරෝධතාකරුවන් රටේ ජනතාවගෙන් බහුතරය නියෝජනය නොකරන බව අගමැතිනිය ප්‍රකාශ කළා. මේ අතර කැනඩාවේ ඔටාවා අගනුවර පැවැත්වෙන විරෝධතා සඳහා එක්වූ පුද්ගලයන් 23 දෙනෙකු, අපරාධ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. විරෝධතාවලින් කැනඩාවේ සැපයුම් ජාලයටත් බාධා එල්ලවී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.
 

More News..