brand logo

කොවිඩ් ආසාදිතයන් 4ක් ගාල්ලෙන්

07 October 2020

ගාල්ලේ පදිංචිව සිටි දිවුලපිටිය කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිප දෙනකු කොවිඩ් - 19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් ගාල්ලේ බාහිරි සමාජයතුළ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා අද (07) පවසයි. ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත. ඒ අතරින් බටපොළ පදිංචිකරුවා පොදු ප්‍ර‍වාහන සේවා කිහිපයක්ම භාවිතා කර ඇති බැවින් ඔහු ගමන්ගත් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ. බටපොළ පදිංචි ආසාදිත තැනැත්තා අධීවේගී මාර්ග බස් රථය ඇතුළු තවත් බස් රථ කිහියක ගමන් කර ඇති බවත් එම බස් රථ හඳුනාගැනීමට බුද්ධි අංශ සමග කටයුතු කරන බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. අහංගම පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (06) කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇති අතර මෙම කාන්තාව නිවස ආසන්නයේ පැවැති දානමය පිංකමකට සහභාගී වී ඇති බව වාර්ථා වේ. එම දානමය පිංකමට කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ‍ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් හය දෙනකු ද සහභාගී වී ඉන් පසු සේවයට වාර්තා කර ඇත. එම හයදෙනා පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ඔවුන් නිවෙස්වලට යැවීමට අදාල ඇඟළුම් ආයතනයේ පරිපාලනය කටයුතු කර තිබේ. දානමය පිංකමට සහභාගී වූ පුද්ගලයන් මේ වනවිට සමාජය තුළ සැරිසරා ඇති බැවින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අද (07) ආරම්භ කරන බව ද වෛද්‍ය සමරරත්න මහතා පවසයි. ඇල්පිටියේ පදිංචි කොරෝනා ආසාදිත බව තහවුරුකර ගත් කාන්තාවගේ දරුවකු මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එම දරුවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගී වී ඇති බවත් අනාවරණය වී තිබේ. එම දරුවාගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (07) සවස ලැබීමට නියමිතවයි.
 

More News..