brand logo

කොවිඩ් අවදානම වැඩි කරන සාධකයන් මෙන්න

05 May 2021

නව කොවිඩ් 19 වෛරස ප්‍රභේද හා අධි අවදානම් අවස්ථා පිලිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් දැනුම් දීමක් කර තිබේ. වෛරස වසංගත වල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වෙන්නේ කාලයත් සමග එහි ස්වරුපයේ සිදුවන වෙනස්වීමයි.

වෛරස වල එක ප්‍රෝටීනයක වෙනස්වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදුවිය හැකි අතර එවැනි වෙනස්වීම් නිසා වෛරසය බෝ වීමේ වේගය වැඩි වී වෛරස ආසාදනයෙන් ඇතිවන රෝගයේ බරපතලකම වැඩි විය හැකිය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොවිඩ් 19 වෛරස අතරෙහි ද B.1.1.7 ඇතුළු විවිධ නව ප්‍රභේද හඳුනාගෙන ඇති අතර වෙනදාට වඩා රෝගය වේගයෙන් පැතිර යාමට මෙන්ම වඩා බරපතළ රෝග ලක්ෂණ ඇති වීමට හේතුව මෙය විය හැකියි. ලොව පුරා සිදුකරන ලද අධ්‍යයන වලට අනුව යම් ස්ථානයක කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වන ප්‍රධාන සාධක තුනක් තිබේ.එම සාධක නව වෛරස ප්‍රභේද වලට ද පොදු වෙයි.

 කොවිඩ් අවදානම වැඩි කරන සාධක මොනවාද ?

1. අධික සෙනගක් රැදෙන ස්ථානයක් වීම - යම් ස්ථානයක ගැවසෙන සෙනග වැඩි වීමත් සමගම කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු හිඳීමේ සම්භාවිතාව වැඩිවෙනවා, කොවිඩ් පැතිරීමේ අවදානම අධික ලෙස වැඩිවෙනවා. 2. සෙනග එකිනෙකා සමීපයෙන් ගැවසෙන ස්ථාන වීම - විශේෂයෙන්ම එකිනෙකා ආසන්නයේ සිටිමින් කතා බහෙහි යෙදෙන හා අහාර පාන ලබා ගන්නා අවස්ථා. 3. හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක් වීම - සංවෘත අවකාශ තුළදි කොවිඩ් වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය එළිමහන් අවකාශවලට සාපේක්ෂව පැහැදිලිවම වැඩි බවක් දක්නට ලැබෙනවා. නිතර කතාබහට ලක් නොවුනත් මෙය කොවිඩ් ව්‍යාප්තියට බලපාන තවත් ඉතාමත්ම ප්‍රබල සාධකයක්. ඔබ සිටින ස්ථානයක ඉහත සාධක තුනෙන් එකක් හෝ පවතී නම් එහි කොවිඩ් පැතිරයාමේ ප්‍රවනතාවය අන් ස්ථානවලට සාපේක්ෂව වැඩියි. යම් ස්ථානයක මෙම සාධක එකකට වඩා පවතීනම්, එවන් ස්ථානවල කොවිඩ් ව්‍යාප්තිය ඊටත් වඩා සීඝ්‍රයෙන් සිදුවිය හැකියි. එනිසා මෙවැනි ස්ථාන හැකිතාක් දුරට මඟහැරිය යුතුයි. යම් අත්‍යවශ්‍ය හේතුවකට එවැනි ස්ථානයකට යාමට සිදුවුවහොත්, එතැන ගත කරනා කාලය හැකිතාක් දුරට අවම කරගැනීම මගින් අවදානම යම්තාක් දුරකට අඩු කරගැනිමට හැකි වේ.

ප්‍රභේදය කුමක් වුවත් ඔබට ආරක්ෂා වීමට කල යුත්තේ එම අවදානම් සාධක සහිත ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒවා මගහැරිමයි.

ඒ වගේම, දෑත් නිතර පිරිසිදුව තබා ගැනීම හා නියමිත ආකාරයෙන් මුව ආවරණ පැලදීම මඟින් කොවිඩ් සම්ප්‍රේෂණ අවදානම බොහෝ දුරකට අඩුකර ගත හැකියි.
 

More News..