brand logo

කොවිඩ්වලට ඖෂධය එන්නතයි

26 December 2020

කොරෝනා මර්දනය මුලින්ම තිබුණේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි යටතේය. නමුත් කොරෝනා දෙවැනි රැල්ල භයානක අතට හැරෙද්දි එය මර්දනය කිරීම සඳහා වෙනමම අමාත්‍යාංශයක් පිහිටුවිය. ඒ අතරේ කොරෝනා මැඬලීමට තමා ඖෂධයක් නිපද වූ බව කියමින් පුද්ගලයෙක් කරළියට ආවේය. ඔහුගේ පැණිය කථානායක, සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු මැති ඇමැතිවරුද බීවෝය. ගිය සතියේදී කැබිනට් ප්‍රකාශකවරයා කීවේ මේ පැණියට අනුමැතිය දී ඇති බවය. මේ ඒ ගැන ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සමග කළ සාකච්ඡාවකි. ඇමැතිවරියක් වුවත් ඔබත් දොස්තර නෝනා කෙනෙක් නේද? ඔව්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් 1984දී දෙවන ශ්‍රේණියේ සමාර්ථයක් ගනිමින් එම්.බී.බී.එස්. ගෞරව උපාධිය සමත් වුණා.මම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ 1986දී මීගමුව මහ රෝලේ වෛද්‍යවරියක ලෙසිනි. ඉන් පසු ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෛද්‍යවරියක ලෙස සේවය කළා. 1993 දී ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය සමත් වූ මම ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ලාට්‍රෝම් විශ්වවිද්‍යාලයෙන් හා එංගලන්තයේ ලන්ඩන් නුවර ළමා සෞඛ්‍ය ආයතනයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා 2000 වසරේ සිට ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කළා. දේශපාලනයට පැමිණීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ තනතුරු දරමින් රෝගීන්ට පිහිට වුණා. අලුත් ඇමැතිකම කොහොමද? මම රට වෙනුවෙන් අවුරුදු 24ක් සේවය කළා. මම ඉගෙන ගත් දෙයින්, අත්දැකීම්, දැනුම මත රට වෙනුවෙන් තවදුරටත් සේවය කරන්න පුළුවන් අමාත්‍යාංශයක් මට ලැබීම හොඳයි. වෛද්‍ය ක්ෂේත්‍රයට ඔබට බොහෝ සුදුසුකම් තිබෙද්දී මෙච්චර කලක් සෞඛ්‍යයට සම්බන්ධ අමාත්‍යාංශයක් ලැබුණේ නැත්තේ ඇයි? එය මගෙන් අහන්න ඕනි ප්‍රශ්නයක් නෙවෙයි. කොවිඩ් පාලනය සඳහා නව එන්නත ගෙන ඒමේ වැඩපිළිවෙළ කොහොමද? එන්නත් කිහිපයක් පර්‌යේෂණය කරනවා. අපි එම එන්නත්වලින් සුදුසු එන්නත ගෙනත් අවදානම් කණ්ඩායම්වලට දෙනවා. අවදානම් කණ්ඩායම් හඳුනාගෙන තියෙනවාද? අවදානම් කණ්ඩායම් හඳුනාගෙන තියෙනවා. වයස්ගත පුද්ගලයන්, වෙනත් ආසාදන තිබෙන පිරිස, ජනගහනය අධික ප්‍රදේශවල පුද්ගලයන්, වතු ආශ්‍රිත පුද්ගලයන්, සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා සහ පොලිසියට පළමුව දෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන රජය රෝගීන්ට එන්නත් ලබාදිය යුතු බවට තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ සඳහා ලලිත් වීරතුංග මහතා රාජ්‍ය මැදිහත්වීම සම්බන්ධීකරණය කරනවා. කොවිඩ්මර්දනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කරනවා. එක මතයක් ජනතාවට ඉදිරිපත් කරන්න බැරි ඇයි? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්නේ. සෞඛ්‍ය තුළ නිශ්චිත වැඩපිළිවෙළක් තියෙනවා. ආසාදිතයන් හඳුනාගෙන රෝහල්ගත කිරීම. ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධායනය කරනවා. එක එක්කෙනා විවිධ මත කියන්න පුළුවන්. ‘වඳුරා බෙනේ - ගිරවා ගහේ’ වැනි වැඩක් කොවිඩ් මර්දනයේදී මත ප්‍රකාශ කිරීමේදී සිදුවෙනවා. ජනතාවට අපි කියන්නේ තාක්ෂණික දැනුම තියෙන අයගේ උපදෙස් පිළිපදින්න කියලා. හැමෝම හැමදේම කියනවා. එන්නත මිලදී ගන්න මුදල් තියෙනවාද? කොවිඩ් මර්දනයට අපි බිලියන ගණනක් වැය කරලා තියෙනවා. බිලියන 10ක් වැය කරලා එන්නත් ලබාගෙන රෝගීන් අඩු කරගතහොත් සෞඛ්‍ය පද්ධතියට තිබෙන බර අඩු වෙනවා. ආර්ථික කටයුතු ආරම්භ කරන්න පුළුවන්. බිලියන දහය ආයෝජනයක්. එන්නත් ගැනීමට ජාත්‍යන්තර ආධාර ආයතනවල සහයෝගය ගන්නවාද? ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් කොටසක් නොමිලේ දීමටත් එකඟත්වය පළ කර තියෙනවා. ඉන්දියාවෙන් කොටසක් නොමිලේ දෙන්න සූදානම්. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවද සහයෝගය දීමට එකඟත්වය පළකර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයට මුහුණ දීමට රජය සූදානම්ද? ඒ ගැන තොරතුරු වාර්තා වූ විගසම ජනාධිපතිතුමා තීන්දු කළා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් යානා නතර කිරීමට. ඊට මුහුණ දීමට සූදානම්. ගුවන් තොටුපොළ ලබන සතියේ සිට විවෘත කිරීමට රජය සූදානම් වෙනවා. ඊට මෙය බාධාවක් නොවේද? ගුවන් තොටුපොළ විවෘත කිරීමේ මාර්ගෝපදේශ සකස් කර තිබෙනවා. රටේ අයට සංචාරකයන්ගෙන් කොවිඩ් බෝවෙන්න ඉඩ තියෙන්නේ නැහැ. සකස් කළ මාර්ගෝපදේශවල ඇතැම් කරුණු සංශෝධනය කරනවා. සංචාරක ක්ෂේත්‍රය හරහා ජීවත් වන පිරිසට අපි සහයෝගය ලබාදිය යුතුයි. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ කොවිඩ් මර්දනය සඳහා වූ උපදේශක කමිටුවට ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. දැන් ඔබට මෙයම විෂය අයිති. මොකද වෙන්නේ? ඔය ප්‍රශ්නය පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිතුමියගෙන් අහන්න ඕනි. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඇමැතිතුමියයි. මහාචාර්ය තිස්ස විතාරණ කියන්නේ දැනට ලංකා​වේ සිටින ජ්‍යෙෂ්ඨතම වයිරස් රෝග පිළිබඳ විශේෂඥයෙක්. තමාගෙත් උපදෙස් නොගන්නා බවට ඔහු චෝදනා කර තිබුණා. මම නම් තිස්ස විතාරණ මහතා සමග සාකච්ඡා කර අදහස් ගත්තා. වයිරස්වේදී විශේෂඥයන් සමග සාකච්ඡා කර උපදෙස් ගන්නවා. ප්‍රවීණයන්ගේ උපදෙස් ගන්නවා. ජනතාවට අවම හානියක් වන අයුරින් කොවිඩ් මර්දනයට ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගැනීම තුළින් රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න පුළුවන්. කොරෝනා මර්දනයට සුදුසු එන්නතද? ධම්මික පැණියද? එන්නත තමයි වඩාත්ම සුදුසු. එන්නත සමග සෞඛ්‍ය ආරක්ෂිත පියවර ජනතාව ගත යුතුයි. මුව ආවරණ පැලඳීම. අත් සේදීම, සමාජ දුරස්ථභාවය වැනි සෞඛ්‍ය කරුණු අකුරටම ඉටු කළ යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකිය යුතුයි. එන්නත ගත්තත් අපි ආරක්ෂක සෞඛ්‍ය ක්‍රම​ අනුගමනය කළ යුතුයි. ධම්මික පැණිය ගැන ඔබේ අදහස කුමක්ද? පැණිය ගැන කතා කරන්නවත් කැමැති නැහැ. අපි ජනතාව දැනුවත් වන ධනාත්මක පණිවුඩයක් ලබාදිය යුතුයි. ධම්මික පැණිය අරගෙන කපු මහතා ඔබ හමුවෙන්න ආවාද? නැහැ. ධම්මික පැණිය සායනික පරීක්ෂාවකින් තහවුරු වෙලා නැහැ. ඔබගේ අදහස කුමක්ද? කොවිඩ් පාලනයට යොදා ගන්නා ඖෂධ හෝ එන්නත් නිසි සායනික පරීක්ෂාවකින් තහවුරු විය යුතුයි. එසේ නොවුණහොත් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකියි. වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් ලබාදෙන ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් මිනිස් ශරීරයට අහිතකර නොවන බවට තහවුරු වීම අත්‍යවශයයි. එමගින් ඇති වන සංකූලතා, අතුරු ආබාධ පිළිබඳ නිවැරදි තක්සේරුවක් තිබිය යුතුයි. ධම්මික පැණියට ආයුර්වේදයේ අනුමැතියක් ලැබුණා කියනවා. ආයුර්වේදයේ දේවල් ගැන මගෙන් අහන්න එපා. අපි අනුමැතිය දුන්නේ නැහැ. ඔය පැණිය ගැන කතා කිරීම දැන් කල් ඉකුත් වෙලා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාවට අනුව කාලි මෑණියන්ට පුළුවන්ද රෝගවලට බෙහෙත් ලබාදෙන්න? ඒවා සංස්කෘතික විශ්වාස, විවිධ විශ්වාස. ඒවා සමග ගැටෙන්න කැමැති නැහැ. පෞද්ගලික විශ්වාස ජනතාව තුළ තිබෙනවා. වෛද්‍ය විද්‍යාවට අනුව විද්‍යානුකූල පදනමේ තොරතුරු තමයි අපි ලබාදෙන්නේ. මෘත ශරීර ආදාහනය පිළිබඳ ගැටලුවක් මතුව තිබෙනවා. මෙය විසඳන්නේ කොහොමද? ඒ ගැන වි​ශේෂඥ වෛද්‍යවරු එක්ක කතා කරලා තියෙන්නේ. ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා. නව සොයා ගැනීම් සමග විද්‍යානුකූලව මේ ගැන සොයා බලන්න කියලා ඉදිරියේදී තීන්දුවක් ලැබෙයි. උදයජීව ඒකනායක
 

More News..