brand logo

කොරෝනා හොඳ වුනත් මාස 5ක් ඇගේ තියෙන දෙයක් ගැන හොයා ගනී

16 October 2020

කොවිඩ් 19 වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය මිනිස් සිරුරේ මාස පහක් පමණ පවතින බව සොයා ගෙන තිබේ. මෙයට අදාල පර්‌යේෂණය සිදු කර තිබෙන්නේ දීප්ත භට්ටාචාර්ය නමැති ඉන්දීය ජාතික පර්‌යේෂකයෙකි. හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරයි. දීප්ත භට්ටාචාර්ය මේ බව සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් 6000කට ආසන්න පිරිසකගේ ප්‍රතිදේහ සාම්පල යොදාගෙන පර්‌යේෂණ සිදු කිරීමෙන් අනතුරුවයි. " හුඟක් අය විශ්වාස කරන්නේ මේ වයිරසයට එරෙහි ප්‍රතිදේහ සිරුරේ රැඳී නොපවතිනවා කියලා. ඒ ගැටලුවට උත්තරයක් හොයා ගන්න අපට අවශ්‍ය වුණා; ප්‍රතිශක්තිකරණය අඩු තරමින් මාස පහක්වත් පවතින බව තහවුරු වෙලා තිබෙනවා. ..." ඔහු මාධ්‍යයට පවසා තිබිණ. මේ පර්‌යේෂණය පිළිබඳ තොරතුරු "ඉමියුනිටි ජර්නල්" හි පළ වී ඇත. දීප්ත භට්ටාචාර්ය සමග මහාචාර්ය නිකොලිච් සුගිචිද මේ පර්යේෂණයට එක් විය. මෙවැනි පර්‌යේෂණයක් සිදු කිරීම සඳහා පර්යේෂකයන් පෙලඹීමට තවදුරටත් බලපා තිබෙන්නේ ඇතැම් පුද්ගලයන් කොරෝනා වයිරසයෙන් ප්‍රති ආසාදනය වන බව වාර්තා වීමයි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙන්ම තවත් රටවල් කිහිපයකින් එවැනි තත්ත්ව වාර්තා වී තිබේ. ඇමෙරිකා ජාතිකයකු පැය 48ක් ඇතුළත දෙවරක් කොවිඩ් -19 වයිරසයෙන් ආසාදනය වූ බව පසුගිය දා අසන්නට ලැබිණ. කොවිඩ් වයිරසය ප්‍රථම වරට ආසාදනය වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කෙටිකාලීන ප්ලස්මා සෛල මගින් ප්‍රතිදේහ නිපද වේ. ඒවා වයිරසයට එරෙහිව සටන් කිරීම වහාම ආරම්භ කරයි. ආසාදනයෙන් දින 14ක් ඇතුළත රුධිර පරික්ෂාවක් කළහොත් සමහර ප්‍රතිදේහ ඇති බව තහවුරු වේ. ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ දෙවන අදියර වන්නේ දිගු කල් පවතින ප්ලස්මා සෛල නිර්මාණය වීමයි. එමගින් උසස් තත්ත්වයේ ප්‍රතිදේහ නිෂ්පාදනය කෙරේ. ඉන් කල් පවතින ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බවත් දැක් වේ. SARS-CoV-2 ආසාදිත පුද්ගලයන්ගේ රුධිරයේ මාස පහක් පමණ ප්‍රතිදේහ පවතින බව තහවුරුව තිබුණත් එමගින් SARS-CoV-2 වයිරසයට එරෙහිව ආරක්ෂාවක් ලබා දෙන්නේ ද යන ගැටලුවට නිසි පිළිතුරක් තවම නැත.   මංජුල විජයරත්න
 

More News..