brand logo

කොරෝනා සොයාගත් දොස්තරත් මරුට

08 February 2020

දසදහස් ගණනින් මිනිසුන් බිලි ගනිමින් නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙමින් තිබිය දී මෙම වෛසරය ගැන මුලින්ම අනතුරු ඇඟ වූ චීන වෛද්‍යවරයෙකු ගැන පසුගිය දිනවල මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු විය. ලී වෙන්ලියැංග් නමැති මෙම වෛද්‍යවරයා වෛරසය ගැන සමාජ මාධ්‍ය මගින් අනතුරු අඟවා තිබුණේ බොහෝ දෙනෙකු ඒ ගැන කිසිවක් නොදැන සිටි මුල් අවස්ථාවේ ය. ඒ වනවිට රෝග ලක්‍ෂණ පෙන්වූ රෝගීන් ද හමුවී තිබුණේ ඉතා සුළු සංඛ්‍යාවක් බව සඳහන් විය. වෛද්‍ය ලී වෙන්ලියැංග් මෙම වෛරසය ගැන මේ ආකාරයෙන් සමාජය දැනුම්වත් කිරීමට පියවර ගනිද්දී චීනයේ පොලිසිය ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ වෙනත් විදියකට ය. පොලිසිය ඔහු කැඳවා ඉතා දැඩි ලෙස ඔහුට අවවාද කිරීමට පියවර ගෙන තිබිණි. ඔවුන් වෛද්‍යවරයාට සලකා තිබුණේ ව්‍යාජ තොරතුරු පතුරුවා හරිමින් සමාජය තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කරන්නෙකු ලෙසිනි. ඔහු තවදුරටත් මෙම ක්‍රියාවෙහි නිරත වුවහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට පොලිසිය දැනුම් දී තිබූ අතර ඔහුගෙන් ලියැවිල්ලකට ද අත්සන් ගෙන තිබිණි. කෙසේ හෝ වේවා, මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිකුරාදා (07) වාර්තා වූ අලුත්ම පුවතකින් පැවසුණේ ඔහු ද වෛරසයට ගොදුරු වී මරණයට පත්ව ඇති බවයි. එය බොහෝ දෙනාගේ සිත් කම්පා කළ පුවතක් බවට පත්ව තිබිණි. වෛද්‍ය වෙන්ලියැංග් සේවය කළේ නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන වූහාන් නගරයේ පිහිටි රෝහලක ය. එහි සේවය කරමින් සිටිය දී පසුගිය දෙසැම්බර් මාසයේ රෝහලෙ හි ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් 7 දෙනෙකු පිළිබඳව ඔහුගේ විශේෂ අවධානයක් යොමු ව තිබිණි. මෙම රෝගීන්ට වැලඳී තිබුණේ වෛරස් රෝගයකි. ඒ වනවිට නව කොරෝනා වෛරසය ගැන කිසිවක් නොදැන සිටි වෛද්‍යවරයාට පෙනී ගියේ මෙම රෝගීන් එයට වසර ගණනාවකට පෙර චීනය බිලිගත් සාර්ස් වෛරසයට සමාන වෛරසයකින් ආසාදනය වී සිටින බවකි. මෙම රෝගීන් පසු කාලයේ මහත් ප්‍රසිද්ධියට පත් වූ වූහාන් හි මාළු වෙළෙඳසලට සම්බන්ධ පුද්ගලයින් බවත්, ඔවුන් රෝහල තුළ නිරෝධායනයට ලක් කර තිබූ බවත් පැවසේ. නමුත් ඔවුන් ට වැලඳී තිබූ රෝගය පිළිබඳ තොරතුරු රහසිගතව තබා ගැනීමේ වුවමනාවක් බලධාරීන්ට තිබූ බවක් පෙනේ. එමෙන්ම මෙම වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ වන්නක් වුවත් එවැනි කාරණා ගැන පවා නිසි පරිදි ජනතාව දැනුම්වත් කර නැති බවට ද චෝදනා එල්ල විය. ඒ වනවිට බලධාරීන් පවසමින් සිට ඇත්තේ මෙය සතුන්ගෙන් පමණක් බෝවන්නක් හැටියට ය. මෙසේ තිබිය දී වෛද්‍ය වෙන්ලියැංග් සමාජ මාධ්‍ය හරහා මේ ගැන දැනුම්වත් කිරීමට පියවර ගත්තේය. ඔහු මුලින් ම ඒ ගැන අනතුරු අඟවා තිබුණේ සමාජ මාධ්‍ය තුළ වූ වෛද්‍යවරුන්ගේ සාමූහිකයකට (Group) පණිවිඩයක් නිකුත් කරමිනි. එමගින් ඔහු වෛරසය ගැනත්, වසංගතයක් ඇති වීමට ඇති ඉඩකඩ ගැනත් අනතුරු අඟවන්නට පියවර ගත්තේය. එමෙන් ම රෝගීන්ට ප්‍රතිකාර කරද්දී මුහුණු ආවරණ ඇතුළු ආරක්‍ෂක ඇඳුම් අඳින ලෙස ද ඔහු සිය මිතුරු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙම පියවර ගෙන තිබුණේ දෙසැම්බර් මස 30 වැනි දින ය. ඒ වනවිට නව කොරෝනා වෛරසයක් ගැන කිසිවෙකු දැන සිටියේ නැත. පොලිසිය වෛද්‍යවරයා කැඳවා ‘බොරු ආරංචි’ පැතිරවීම ගැන ඔහුට චෝදනා කර තිබුණේ එයින් පසුව යි. කෙසේ හෝ වේවා, එයින් සති කිහිපයක් ගත වෙද්දී, එනම් ජනවාරි 20 වැනි දින වනවිට මෙම වෛරසය තවදුරටත් රහසක් ලෙස තබා ගැනීමට හැකියාවක් නොවූ අතර විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් තිබිණි. එම තත්ත්වය තුළ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පවා රජය ට සිදු විය. මේ අතර වෛද්‍ය වෙන්ලියැංග් ගෙන් සමාව ගැනීමට ද බලධාරීන් කටයුතු කර තිබූ බැව් සඳහන් වේ. නමුත් ඒ වනවිට සිදු විය යුතු සියල්ල සිදු වී අවසන් ව තිබිණි. පසුව වෛද්‍ය වෙන්ලියැංග් ද චීනය තුළ වීරයෙකු බවට පත් වූ බැව් මාධ්‍ය සඳහන් කළේය. දෙසැම්බර් මාසයේ පොලිසියට කැඳවනු ලැබීමෙන් දින කිහිපයකට පසු තමා අක්‍ෂි රෝගයකින් පෙළුණු කාන්තාවකට ප්‍රතිකාර කළ බව ඔහු සිය සමාජ මාධ්‍ය පිටුවෙහි සටහන් කර තිබිණි. ඇය ද නව කොරෝනා වෛරසය ආසාදිතව සිටි කෙනෙකු බව කිසිවෙකු ඒ වනවිට දැන සිටියේ නැත. මෙම කාන්තාවට ප්‍රතිකාර කිරීමෙන් දින කිහිපයකට පසු ජනවාරි 10 වැනි දා තමාට දරුණු කැස්සක් ඇති වූ බවත්, ඊට පසු දා උණ ගැනුණු බවත්, රෝහල් ගත වීමට වූ බවත් වෛද්‍ය වෙන්ලියැංග් සඳහන් කර තිබිණි. තමා පමණක් නොව තම මව්පියන් පවා රෝහල් ගත කරන ලද බව ඔහු පැවසුවේය. කොරෝනා වසංගතය ජාතික හදිසි තත්ත්වයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ එයින් ද දින කිහිපයකට පසුව ය. මුල් අවස්ථාවෙහි කරන ලද වෛද්‍ය පරීක්‍ෂණවල දී වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවක් අනාවරණය නොවීය. නමුත් පසුව කරන ලද තවත් විශේෂ පරීක්‍ෂණයකින් පසු හෙළි වූයේ ඔහු නව කොරෝනා වෛරසය ට බිලි වී ඇති බවයි. එදින ද ඔහු සිය සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබා තිබිණි. ‘අද කරපු නියුක්ලේක් අම්ල පරීක්‍ෂාවෙන් රෝගය ගැන තහවුරු වී තිබෙනවා. මෙතෙක් ඒ ගැන පැවැති අවිනිශ්චිත බව අද අවසන් වුණා.’ ඇස් උඩ ඉන්දවාගෙන, දිව එළියට දමාගෙන අමාරුවෙන් හුස්ම ගනිමින් සිටින සුනඛයෙකුගේ රූපයක් ද ඔහු ඒ සමග යොදා තිබූ බව පැවසේ. එම පෝස්ටුවට දහස් ගණනින් කමෙන්ටු ලැබී තිබූ බවත්, වෛරසය පිළිබඳව ඔහු කළ අනාවරණය ගැන ප්‍රශංසා කර තිබූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ හෝ වේවා, පසුගිය බ්‍රහස්පතින්දා (6) චීන මාධ්‍ය වාර්තා කළේ වෛද්‍ය ලී වෙන්ලියැංග් මරණයට පත්ව ඇති බවයි. වෛද්‍යවරයා මිය ගිය බවක් මුලින් පවසා පසුව එම කතාව වෙනස් කර ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවක් වාර්තා කළ බැව් ද ඇතැම් බටහිර මාධ්‍ය සඳහන් කර තිබිණි. නමුත් එයින් ටික වේලාවකට පසු නැවතත් ඔහුගේ මරණය ගැන පුවත පළ කර තිබූ බැව් සඳහන් වේ. ඔහු මිය ගිය වේලාව ලෙස අවසන් වශයෙන් සඳහන් කෙරුණේ 7 වැනි සිකුරාදා අලුයම 2.58 ය. වෛද්‍යවරයාගේ මරණය ගැන වාර්තා වීමත් සමග චීන ජනතාව මහත් කම්පාවට පත්ව තිබූ බැව් සඳහන් වූ අතර බොහෝ දෙනා ඒ ගැන සිය ශෝකය පළ කරමින් ප්‍රතිචාර දක්වා තිබිණි. මිය යන විට වෙන්ලියැංග් ගේ වයස අවුරුදු 34 ක් පමණක් විය. මේ වෙද්දී චීනය තුළ නව කොරෝනා වෛරසයේ පැතිරීම තවදුරටත් බිහිසුණු ආකාරයෙන් ඉහළ යමින් ඇති අතර වෛරසය පැතිරෙන්නට පටන්ගත් මුල් අවස්ථාවෙහි රජය නිසි අවධානය යොමු නොකිරීම ගැන එල්ල වන චෝදනා ද ඉහළ යමින් තිබේ. චීනයෙන් පමණක් නොව සෙසු රටවලින් වාර්තා වන රෝගීන් ගණන ද සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. සිකුරාදා වනවිට පළ වී තිබූ තොරතුරු අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 31,481 ක් විය. ඒ අතරින් 4,824 දෙනෙකු ගේ තත්ත්වය බරපතළ බව ද පැවසිණි. වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 638 කි. රෝගීන් 1,563 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් ඇති බව ද සඳහන් විය. රෝගීන් වැඩිම ගණනක් වාර්තා වූ චීනයේ එම සංඛ්‍යාව 31,161 ක් වූයේය. මේ වනවිට එක් දිනක් තුළ දළ වශයෙන් රෝගීන් 3,000 කට කිට්ටු සංඛ්‍යාවක් අලුතෙන් හඳුනා ගන්නා තත්ත්වයක් දැකිය හැකි වේ. මේ අතර චීනයෙන් පිටත වැඩිම රෝගීන් ගණනක් හමු වී ඇත්තේ ජපානයෙනි. එරටින් වාර්තා වන රෝගීන් ගණන 86 කි. නමුත් මේ අතරින් රෝගීන් 61 ක්ම වාර්තා වන්නේ එරට යොකෝහාමා වරායේ නවතා ඇති ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ නමැති සුඛෝපභෝගී මගී නෞකාවෙනි. මගීන් සහ කාර්ය මණ්ඩලයේ 3,700 දෙනෙකු සිටින මෙම නෞකාව මේ වනවිට මුහුද මැද නතර කර ඇති අතර ඉහත කී සියලු දෙනා ඒ තුළ ම නිරෝධායනයට ලක් කර තිබේ. ඉදිරියේ දී මෙයින් වාර්තා වන රෝගීන් ගණන තවදුරටත් ඉහළ යා හැකි බවට ද සැක පළවෙමින් තිබෙනු දැකිය හැකි විය. මේ වනවිට චීනය හැරුණු විට තවත් රටවල් සහ කලාප 27 ක වෛරසය පැතිර අවසන් ය. සිකුරාදා වනවිට එම රටවලින් වාර්තා වී තිබූ රෝගීන් සංඛ්‍යා මෙසේය: ජපානය-86, සිංගප්පූරුව-30, තායිලන්තය- 25, දකුණ කොරියාව-24, ඔස්ට්‍රේලියාව-15, මැලේසියාව-14, ජර්මනිය-13, වියට්නාමය-12, ඇමෙරිකාව-12, කැනඩාව-7, ප්‍රංශය-6, එක්සත් අරාබි එමීර් රාජ්‍යය-5, පිලිපීනය -3, ඉතාලිය-3, ඉන්දියාව-3, එක්සත් රාජධානිය-3, රුසියාව-2, ශ්‍රී ලංකාව-1, කාම්බෝජය-1, ෆින්ලන්තය-1, නේපාලය-1, ස්වීඩනය-1, ස්පාඤ්ඤය-1, බෙල්ජියම-1. මෙම රටවලට අමතරව චීනයේ විශේෂ පරිපාලන කලාප ලෙස සැලකෙන හොංකොං, තායිවානය, මැකාවො යන කලාපවලින් පිළිවෙළින් රෝගීන් 24, 16 සහ 10 වශයෙන් හමු වී තිබිණි. සහන් වික්‍රමගේ
 

More News..