brand logo

කොරෝනා සුගතදාසයටත් යයි

22 October 2020

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ උප ක්‍රීඩාගාරයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදීම සඳහා පැමිණි අයෙක්ට කොවිඩ් ආසාධනය වී ඇති බව වාර්තාවීමත් සමගින් සමස්ත ක්‍රීඩාංගණ පරිශ්‍රයම කොවිඩ් අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ. මෙම ක්‍රීඩාගාරය භාවිතය සඳහා පැමිණෙන අයකු සිය ලියාපදිංචිය සනාථ කිරීම ආදිය වෙනුවෙන් ක්‍රීඩාගාරයට පිවිසීමට මත්තෙන් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ස්ථාන 3ක් වෙත වාර්තා කළ යුතු අතර එම එක් ස්ථානයකදී එකී පුද්ගලයාට නිරාවරණය වූ ක්‍රීඩාංගණ සේවකයකු අසාධිතයා පිළිබඳ සැලවීමට පෙරාතුව ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අනෙකුත් අංශ රැසක සැරිසරා ඇති බවද වාර්තා වේ. මේ හේතුවෙන් ක්‍රීඩාංගණයේ අනෙකුත් අංශවල සේවකයන්ද කොවිඩ් අවදානම පිළිබඳ බියකින් පසුවන බැව් පැවසේ. අදාළ ආසාධිතයා පිළිබඳ වාර්තාවීමත් සමගින් මෙම උප ක්‍රීඩාගාරය සහ යාබදව පිහිටි කායවර්ධනාගාරය වසා දැමීමට පියවර ගෙන ඇති අතර ක්‍රීඩාංගණයේ සේවකයන් තිදෙනෙකු නිරෝධායනයට ලක්කරමින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමටද කටයුතු යෙදී තිබේ. මේ අතර, නිරෝධායනයට ලක්කිරීමට තීරණය වී ඇති එක් ක්‍රීඩාංගණ සේවකයකු ඒ වෙනුවෙන් කොළඹ ආසන්නයේ පිහිටි සිටි නිවස වෙත යෑම ප්‍රතිකේෂප කරමින් ක්‍රීඩාංගණ සේවක නේවාසිකාගාරයේ රැඳී සිටීමට උත්සහ දරා ඇති අතර සෙසු සේවකයන්ගෙන් එයට විරෝධය එල්ලවීම හමුවේ ඉකුත්දා රාත්‍රියේ සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් උද්ගත වූ බැව්ද සැලවේ. අවසානයේ එය සේවක වෘත්තිය සමිති දෙකක් අතර ආරවුලක් ඇතිවන තත්ත්වයක් දක්වා ඔඩු දුවා තිබේ. සුගතදාස ක්‍රීඩාංගණය වෙත පැමිණි අයකු කොවිඩ් ආසාධිතකයකු බවට පත්ව ඇතැයි වාර්තා වන විට ක්‍රීඩාංගණ අධිකාරියේ සමාලෝචන කමිටු රැස්වීමක් පැවැත්වෙමින් තිබී ඇති අතර එම පණිවුඩය පැමිණි සැණින් අදාළ රැස්වීම නවතා දමා අවශ්‍ය අනෙකුත් කටයුතු වෙත යොමුවීමට පාලනාධිකරිය ක්‍රියාත්මකව ඇත. මේ අතර අදාළ ආසාධිතයාට නිරාවරණය වූ එක් ක්‍රීඩාංගණ සේවකයකු, ඒ බැව් වාර්තාවීමට ප්‍රථම නිවාඩු ලබා මහනුවර ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් තිබේ. අදාළ සේවකයාට තමන් වෙසෙන ප්‍රදේශයෙන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වෙන මෙන් දැනුම් දී තිබේ. ඉකුත් කාලය පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ඉසව් සඳහා විවර නොවුනු නමුත් සමස්ත සේවකයන් සේවයට කැඳවීමට පාලනාධිකාරිය කටයුතු කර තිබුණි. ඉටුකිරීම සඳහා විශේෂ රාජකාරි කටයුතු නොමැති මෙවැනි කාලයක මේ අයුරින් සියලු සේවකයන් සේවයට කැඳවීම වෙනුවට සෞඛ්‍ය ආරක්ෂාව ආදිය සලකා අත්‍යවශ්‍ය සේවකයන් සංඛ්‍යාවක් පමණක් සේවා මුර වශයෙන් බෙදා කැඳවීම වඩා යෝග්‍ය බව ක්‍රීඩාංගණ සේවකයන්ගේ මතය වී ඇත. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..