brand logo

කොරෝනා වෛද්‍යවරු 382ක් බිලිගනී

18 September 2020

මේ වනවිට දරුණු ආකාරයෙන් ඉන්දියාව පුරා පැතිරෙමින් ඇති කොවිඩ් වසංගතයට බිලි වීමෙන් එරට වෛද්‍යවරුන් 382දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. මේ බැව් අනාවරණය කර ඇත්තේ ඉන්දියානු වෛද්‍ය සභාවේ වාර්තාවක් මගිනි. ඔවුන් මෙම තොරතුරු ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ එරට පාර්ලිමේන්තුවේ සිදු වූ සිද්ධියකට ප්‍රතිචාර වශයෙනි. ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කොවිඩ් වසංගතය ගැන ප්‍රකාශයක් කර ඇති අතර රාජකාරී කරමින් සිටියදී වයිරසයට ගොදුරු වී මියගිය වෛද්‍යවරුන් ගැන ඔහු කිසිවක් සඳහන් කර නොමැති බැව් වාර්තා වේ. එමෙන්ම ඔහුගේ නියෝජ්‍ය ඇමැතිවරයා කළ කතාවකදී පවසා ඇත්තේ කොවිඩ් වැලඳී මිය ගිය වෛද්‍යවරුන් පිළිබඳ දත්ත මධ්‍යම රජය සතුව නොමැති බවයි. ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා කටයුතු කළ ආකාරය ඉන්දීය වෛද්‍ය සභාවේ දැඩි පිළිකුලට සහ කෝපයට හේතු වී තිබේ. කොවිඩ් වසංගතයට එරෙහිව පෙරමුණේ කටයුතු කරන වීරයන් රජය විසින් නොසලකා හරිනු ලැබ ඇති බවට ඔවුන් චෝදනා කර ඇත. ඉන්දීය වෛද්‍ය සභාව නිකුත් කර ඇති වාර්තාවට අනුව වෛද්‍යවරුන් 382 දෙනකු මියගොස් ඇති අතර මරණයට පත්ව ඇති ලාබාලම වෛද්‍යවරයා වයස අවුරුදු 27 ක කෙනෙකි. වියපත්ම වෛද්‍යවරයා 85 හැවිරිදි කෙනෙකු බවද සඳහන්ය. ලෝකයේ වෙනත් කිසිදු රටක ඉන්දියාවේ තරම් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් මෙම වයිරසයෙන් මියගොස් නැති බවද වෛද්‍ය සභාව පවසයි. සහන් වික්‍රමගේ
 

More News..