brand logo

කොරෝනා වැනසීමේදී සෙනිටයිසර් වලට වඩා සබන් හොඳ බව සොයා ගනී

08 November 2020

වෛරස ශරීරයෙන් පිටත පැය ගණන්, සමහර විට දින ගණන් පවා ක්‍රියාකාරී විය හැකිය. මධ්‍යසාර අඩංගු විෂබීජ නාශක, දියර වර්ග, පිසදැමීමට යොදා ගන්නා ද්‍රව්‍ය, ජෙල් වර්ග සහ ආලේපන සියල්ලම එම වෛරස විනාශ කිරීමට ප්‍රයෝජනවත් වේ - නමුත් ඒවා සාමාන්‍ය සබන් තරම් හොඳ නැත. සෞඛ්‍ය බලධාරීන් අපට පණිවිඩ දෙකක් ලබා දී ඇත. 1.ඔබට වෛරසය වැළඳුණු පසු එය විනාශ කිරීමට හෝ එයින් මිදීමට ඔබට උපකාර කළ හැකි ඖෂධ කිසිවක් නොමැත. 2.වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා අත් සේදිය යුතුය. මේක හරි අමුතු කතාවක්! ඔබට ඩොලර් මිලියනයකට වුවත් කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා ඖෂධයක් ලබා ගත නොහැකි නමුත් ඔබේ ආච්චිගේ සබන් කැටයට එය විනාශ කළ හැකිය. එසේ නම් නව කොරෝනා වෛරසය මත (ඇත්ත වශයෙන්ම බොහෝ වෛරස් මත)සබන් වැඩ කරන්නේ ඇයි? එය සරලව කියනවා නම්; වෛරසයක් කියන්නේ ස්වයං-සංගත (ස්වයංව එකලස් වන) නැනෝ අංශුවක් වන අතර එහි දුර්වලම බන්ධන පවතින්නේ මේද ද්වි-ස්ථරයේය (පටලයේය).සබන් මෙම මේද පටලය බිඳින අතර වෛරසය කාඩ්පත් එකතු කොට සෑදු ගෙයක් මෙන් කඩා වැටී විනාශ වෙයි. තරමක් විස්තරාත්මකව ඒක කියනවා නම්; බොහෝ වෛරස් ප්‍රධාන තැනුම් ඒකක තුනකින් සමන්විත වේ 1.රයිබොනියුක්ලික් අම්ලය (RNA) 2.ප්‍රෝටීන 3.ලිපිඩ(මේද) වෛරසයෙන් ආසාදනයට ලක් වූ මිනිස් සෛල විසින් මෙම තැනුම් ඒකක විශාල වශයෙන් නිපදවා දෙන අතර එමඟින් ස්වයං සංගතව (ස්වයංව එකලස් වී) වෛරසය තව තවත් සෑදේ. කෙසේ වෙතත් මෙම ඒකක එකට රඳවා තබා ගන්නා ශක්තිමත් සහසංයුජ බන්ධන නොමැත.එයින් අදහස් කරන්නේ එම තැනුම් ඒකක එකිනෙකාගෙන් වෙන් කිරීමට ඔබට රළු රසායනික ද්‍රව්‍ය අනිවාර්‍යයෙන් අවශ්‍ය නොවන බවයි. ආසාදිත සෛලයක් මිය ගිය විට, මෙම නව වෛරස් සියල්ලම ගැලවී වෙනත් සෛල වලට පලා ගොස් එම සෛලද ආසාදනයට ලක් කරයි. සමහර ඒවා පෙනහළු වල වාතයේ දීම මිය යයි. ඔබ කහින විට හෝ විශේෂයෙන් කිවිසුම් අරින විට ඉතාම කුඩා සොටු බිඳිති මීටර් 10 ක් දක්වා ඈතට විසිරී යා හැකිය. ඉන් විශාල බිඳිති ප්‍රධාන කොරෝනා වෛරස් වාහකයන් යැයි සිතන අතර ඒවාට අවම වශයෙන් මීටර් දෙකක්වත් යා හැකිය. යම් යම් පෘෂ්ඨ මත පතිත වන මෙම කුඩා සොටු බිඳිති බොහෝ විට ඉක්මනින් වියළී යයි. නමුත් ඒවා තුළ වෛරසය ක්‍රියාකාරීව පවතී. මිනිස් සම කියන්නේ වෛරසයක් සඳහා කදිම මතුපිටක්.එය “කාබනික” වන අතර සමෙහි මතුපිට ඇති මළ සෛලවල ඇති ප්‍රෝටීන සහ මේද අම්ල වෛරසය සමඟ අන්තර්ක්‍රියා කරනවා. වෛරස් අංශු පතිතව ඇති මතුපිටක් ඔබ ස්පර්ශ කළ විට එම වෛරස් ඔබේ සමට ඇලී ඒවා ඔබේ අත්වල රැඳේ. දැන් ඔබ ඔබේ මුහුණ, විශේෂයෙන් ඔබේ ඇස්, නාස්පුඩු හෝ මුඛය ස්පර්ශ කළහොත් ඔබ ආසාදනයට ලක් විය හැකිය. බොහෝ මිනිසුන් සෑම මිනිත්තු දෙකකට හෝ පහකට වරක් ඔවුන්ගේ මුහුණ ස්පර්ශ කරන බව නිරික්ෂණය වී තිබේ. සම සහ වෛරසය අතර ඇති ශක්තිමත්, මැලියම් වැනි අන්තර්ක්‍රියා සමඟ තරඟ කිරීමට නිකම්ම ජලය පමණක් ප්‍රමාණවත් නැත. එහෙත් 'සබන් ජලය' සම්පූර්ණයෙන්ම වෙනස් ය. සබන් වල ඇම්ෆිෆයිල්ස් [Chemical compound possessing both hydrophilic (water-loving, polar) and lipophilic (fat-loving) properties] ලෙස හඳුන්වන මේද වැනි ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවායින් සමහරක් ව්‍යුහාත්මකව වෛරස් පටලයේ මේද වලට සමාන වේ. මෙම සබන් අණු වෛරස් පටලය සෑදී අැති මේද සමඟ තරඟ කරයි. සබන් මඟින් වෛරසය සහ සම අතර ඇති මැලියම් ලිහිල් කරනවා පමණක් නොව, වෛරසය සෑදී ඇති ප්‍රෝටීන, ලිපිඩ සහ RNA යන තැනුම් ඒකක එකට බැඳ තබා ගන්නා වෙල්ක්‍රෝ වැනි අන්තර්ක්‍රියා ද ලිහිල් කරයි. සියලුම ඇල්කොහොල් පදනම් කරගත් විෂ බීජ නාශක නිෂ්පාදනවල ඉහළ ප්‍රතිශතයකින් යුත් මධ්‍යසාර ද්‍රාවණයක් (සාමාන්‍යයෙන් 60-80% එතනෝල්) අඩංගු වන අතර මේවාද ඉහත ආකාරයට සමාන ආකාරයකින් වෛරස විනාශ කරයි. නමුත් සබන් වඩාත් හොඳ වන්නේ තරමක් කුඩා සබන් වතුර ප්‍රමාණයක් අතුල්ලමින් ඔබේ මුළු අතම පහසුවෙන් ආවරණය කළ හැකි බැවිනි. එහෙත් ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශක යොදා ගන්නා විට වෛරසය එතනෝල් හි පෙඟවෙන සේ යොදා ගත යුතු අතර, එසේම ජෙල් ආදිය යොදා ගැනීමේදි අතේ අතුල්ලමින් ඔබේ සම මත සෑම කොනක්ම ප්‍රතිපලදායී ලෙස පොඟවා ගන්නා බවට සහතික විය යුතුය. ඉතින්, සබන් හොඳම ය, නමුත් සබන් පහසු හෝ ප්‍රායෝගික නොවන විට කරුණාකර මත්පැන් මත පදනම් වූ සනීපාරක්ෂක නිශ්පාදන භාවිතා කරන්න. වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු
 

More News..