brand logo

කොරෝනා වලින් වැඩිපුර මැරෙන්නෙ පිරිමි

28 April 2020

නව කොරෝනා ආසාදිතයන් අතරින් වැඩි වශයෙන් මියයන්නේ පිරිමින් බව මේ වනවිට අනාවරණය වී තිබේ. මෙය මෙම වෛරසය සම්බන්ධයෙන් පමණක් නොව මෙයට පෙර සාර්ස්, මර්ස් වැනි වසංගතවලට හේතු වූ වෙනත් කොරෝනා වෛරස සම්බන්ධයෙන්ද දැකිය හැකි වූ තත්ත්වයක් බව අධ්‍යයනයන් තුළින් හෙළි වී ඇත. අප්‍රේල් 19 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව ඒ වනවිට යුරෝපය තුළ කොවිඩ් 19 නිසා මිය ගොස් සිටි අය අතරින් සියයට 63 ක්ම පිරිමි රෝගින් විය. තවත් වාර්තාවකින් අනාවරණය කර තිබුණේ මාර්තු මාසය තුළ ඉතාලියෙහි මිය ගිය අයගෙන් සියයට 70 ක් පිරිමින් බවයි. පිරිමින් කාන්තාවන්ට වඩා කොරෝනා වෛරසවලින් මරණයට පත් වීමට හේතුව කුමක්ද? මේ සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අධ්‍යයනයන් සිදු වෙමින් පවතී. මේ අනුව පළ වී ඇති එක් අදහසක් වන්නේ පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ජාන අතර පවතින වෙනසක් මෙයට හේතු විය හැකි බවයි. මේ නිසා කාන්තාවන් පිරිමින්ට වඩා ආසාදනයන්ට ඔරොත්තු දෙන තත්ත්වයක් තිබිය හැකි බව පර්යේෂකයන්ගේ එක් මතයකි. එමෙන්ම පිරිමින් දුම්බීම වැනි පුරුදුවලට වැඩි වශයෙන් යොමු වී සිටීම ද තවත් හේතුවක් විය හැකි බැව් අනුමාන කෙරේ. මේ නිසා ඔවුහු හෘදවස්තුව සහ පෙණහලු ආශ්‍රිත ආබාධවලට වැඩි වශයෙන් ගොදුරු වෙති. මෙවැනි ආබාධවලින් පෙළෙන්නන් කොරෝනා ආසාදන නිසා මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බව මේ වනවිට සනාථ වී ඇති කාරණයකි. කෙසේ වෙතත්, කොරෝනා ආසාදන නිසා පිරිමින් වැඩි වශයෙන් මිය යාමට හේතු සොයා ගැනීම සඳහා තව දුරටත් පර්යේෂණ කෙරෙමින් ඇති බැව් වාර්තා වෙයි. •සහන් වික්‍රමගේ
 

More News..