brand logo

කොරෝනා රෝගී පියා පුතාගේ මඟුල් ගෙදර ගිහින්

26 October 2020

කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයෙකු ඊයේ(25) රාත්‍රී පිලියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු පලා ගොස් තිබූ බව පිලියන්දල පොලිසිය පවසයි. ආසාදිත මාළු ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රියේ පිලියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක ඔහුගේ පුතුගේ මංගල්‍යයට සහභාගි වී සිටින අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට ගිය විට ඔහු මෙලෙස පලා ගොස් ඇත. එම පුද්ගලයා කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා යාම හේතුවෙන් ඉකුත් 22 දින පි සි ආර් පරීක්ෂණයට ලක් කර නිරෝධනයට යොමු කර සිටි පුද්ගලයෙකි. ආසාදිතයන්ගේ නාමලේඛනය කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ඊයේ රාත්‍රියේ ලැබීමත් සමගම මාළු ව්‍යාපාරික ආසාදිතයා සොයා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඔහුගේ නිවෙසට ගොස් ඇත. නිවස වසා තිබී ඇති ඇති හෙයින් අසල්වසි නිවසියන්ගෙන් විමසීමේදී ඔහු පුතුගේ මංගල සාදයට සහභාගි වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි . හල්පිට කැස්බෑව හා කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිළියන්දල පොලිසියේ නිලධාරීන් සමග එම හෝටලය සොයා ගොස් ඔහු පිළිබඳව විමසීමේදී ඔහු නොමැති බවට එහි සිටි පිරිස් පවසා ඇත. ඒ අතර සිටි යුද හමුදාවේ උසස් නිලධාරියකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝටලයට ඇතුළු වීමට ඉඩ නොදී රාජකාරියට බාධා කරමින් හැසිරී ඇත. මංගල උත්සවයට සහභාගී වී සිටි පිරිස පිටතට යැවීමට අවශ්‍ය කටයුතු කර හෝටලයට මුද්‍රා තබා ඇති අතර හෝටලයේ සිටින සේවක සේවිකාවන් 31 දෙනකුට එම හෝටලය තුළම නිරෝධායන ට ලක් වන ලෙස දැනුම් දීමට පියවර ගෙන ඇත.
 

More News..