brand logo

කොරෝනා මරණ ඉහළ යනවා

16 October 2020

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවත වැඩිවීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. කොරෝනා ආසාදනය උච්චතම අවස්ථාවේ පැවැති අප්‍රේල් මාසයේදී දිනකට කොරෝනා මරණ 7500ක් පමණ වාර්තා විය. කොරෝනා රෝගීන් යුරෝපයෙන් නැවත වාර්තාවීමට පටන් ගැනීමත් සමගම රෝහල්වල දැඩි සත්කාර ඒකකද පිරී ඉතිරී ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාතන් පවසන්නීය. කොරෝනා වයිරසයෙන් ලෝ පුරා ආසාදිත තත්ත්වයට පත් සංඛ්‍යාව මිලියන 38කට අධික බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. කොරෝනා මරණ මිලියන 1.1ක් මේ වනවිට සිදුව ඇති බවද සඳහන් වේ. කොරෝනා වයිරසයට එන්නතක් නිපදවීමේ කාර්යය සම්බන්ධයෙන් රටවල් කිහිපයක ම පර්‌යේෂණ සිදු කෙරේ. එන්නත් කිහිපයක් මනුෂ්‍යයන්ට ලබාදීමද පසුගිය කාලයේදී සිදු විණ. එසේ වූවත් තවම කිසිදු එන්නතක් සාර්ථක වූ බවක් ස්ථිරව ප්‍රකාශ නොවේ. එන්නතක් සාර්ථක තත්ත්වයට පමුණුවා ගතහොත් එකවරම මාත්‍රා බිලියන ගණනක් නිෂ්පාදනය කිරීම පවා අභියෝගයක් වනු ඇති බව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගම් කිහිපයක් පෙන්වා දී ඇත. එන්නත් කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළහොත් ඉහළ අවදානමකින් යුත් පිරිස් පළමුව එන්නත් කළයුතු බව ස්වාමිනාතන් පෙන්වා දෙයි. සෞඛ්‍ය සේවකයන්, වැඩිහිටියන් ආදී අවදානම් සහගත පුද්ගලයන්ට එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව හිමිවනු ඇති බවද ස්වාමිනාතන් පෙන්වා දුන්නාය. සෞඛ්‍ය සම්පන්න තරුණ කොටස්වලට එන්නත් ලබාදීම 2022 දක්වා කල් යා හැකි බවද ඇගේ කතාවෙන් අනාවරණය විණ. වයිරසය පැතිර යෑම වළක්වා ගැනීම පහළ දමා ගැනීමට නම් 70%කටවත් එන්නත් ලබාදීම සිදු කළ යුතු බව අවධාරණය කෙරේ. කෙසේ වූවත් වයිරසය ආසාදනයවීමෙන් වැළකීමට අත සේදීම, ආරක්‍ෂිත මුඛ ආවරණ පැලඳීම මෙන්ම ගමන් බිමන් සීමා කිරීම ඉතා වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් අවධාරණය කරයි. මංජුලා විජයරත්න
 

More News..