brand logo

කොරෝනා මඩින්න වන්නිල ඇත්තන්ගෙන් උපදෙසක්

02 November 2020

‘‘මම හිතන විදියට මේ කොරෝනා වසංගතය කියලා කියන එක මාසෙකින් දෙකකින් ඉවර වෙන එකක් නෙවෙයි. එහෙම ඉවර වෙනවා නම් ලෝකෙ රටවල මේ වෙනකොට මේ ලෙඩේ ඉවර වෙලා තියෙන්ඩ ඕන. මුල් වතාවේ අපේ රටට මේ ලෙඩේ බෝවුණා. හැබැයි ඉක්මනට පාලනය කළා. වෛද්‍යවරු, ආරක්ෂක අංශයේ අය රජයේ ජනාධිපතිවරයා ඇතුළු හැම කණ්ඩායමක්ම එකතුවෙලා ඉක්මනට ඒක පාලනය කළා. හැබැයි පාලනය කරගත්තට පස්සේ අපිට අමතක වුණා අපිට කොරෝනා හැදුණද කියලා. ඉතින් අපි අර ඉස්සර හිටියා වගේම කොරෝනා අමතක කරලා අපේ අය සමාජයට ගියා. ඒ හින්දා අද වෙනකොට අපේ මුළු රටේම මේ කොරෝනා වසංගතය පැතිරිලා තියෙනවා” යැයි දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී, ඌරුවරිගේ වන්නිල ඇත්තන් පසුගිය 31 දින සවස මාධ්‍ය හමුවක් කැඳවමින් දඹාන කොට බකිණියේදී ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “ගම්වල ඉන්න තරුණ තරුණියන් හැමෝම යන්නේ කොළඹට ගාල්ලට මාතරට හම්බන්තොටට. කොහේ හරි රස්සාව තියෙන තැනකට. එහෙම ගිහිල්ලා ආපු එයාල එන්නෙ ගමට. එහෙම ආවම එයාලගේ පවුලටත් එයාලත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන අනිත් පවුල්වලටත් මේ රෝගය පැතිරෙනවා. ඉතින් මම කියන්නේ මේ කොරෝනාවලට ඇත්තටම කවුරුත් තාම බෙහෙත් හොයාගෙන නෑ. මේ රෝගයට බෙහෙත් කවදා හොයා ගනියිද කියලා කියන්ඩ අමාරුයි. ඒ හින්දා රෝගයෙන් ගැලවෙන්න තියන හොඳම මාර්ගය තමයි නිවසින් බැහැරව නොයා නිවසටම වෙලා ඉන්න එක. වෙන පුද්ගලයෝ ළංකර ගන්නේ නැතුව අනවශ්‍ය තැන්වලට යන්නැතුව, උත්සවවලට යන්නේ නැතුව එක තැනක රැඳිල ඉන්න පුළුවන් නම් මේ රෝගයෙන් බේරෙන්න පුළුවන්. මේ ලෙඩේ කාට තියෙනවද කියලා හොයාගන්න අමාරුයි. ඉතින් මේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න නම් ආණ්ඩුවෙ ලොකු මහත්වරු කියන කතා හා උපදෙස් අනුගමනය කරමින් නිවසට වෙලා ඉන්න. මම දැක්කා පාර්ලිමේන්තුව කියන තැනේ එක එක්කෙනා වාද විවාද මතු කරගන්නවා කොරෝනා ලෙඩේ මෙහෙම ආවා, මෙහෙම ආවා කියලා. මේකට සලකනවා මදි කියලා. එහෙම ගොඩක් දේවල් කතා කරනවා. මම නම් කියන්නේ ඔය වාද විවාද කියන එකෙන් නං වැඩක් නෑ. මේක දොස්තරලටම පාලනය කරන්න කියලා කතා කරත් වැඩක් නෑ. අපි ආරක්ෂා වුණොත් දොස්තරලටත්, රටත් පහසුයි. එහෙම නැතිව අපි අයාලේ ගියොත් දොස්තරලා එක්කෙනෙක් නෙවෙයි, දෙන්නෙක් නෙවෙයි සීයක් හිටියත් මේ තැන පාලනය කරන්න වෙන්නේ නෑ. ඉතින් ඒ හින්දා මම කියන්නේ හැමෝම මේ ලෙඩෙන් ආරක්ෂා වෙලා ඕගොල්ලොත් ආරක්ෂා වෙලා සමාජයත් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියන පණිවිඩය මං මේ වෙලාවේ දෙනවා” යැයි ප්‍රකාශ කර සිටියේය. රංජිත් කරුණාවීර - මහියංගණය
 

More News..