brand logo

කොරෝනා නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග සහභාගීත්වය අතහැර දමයි

03 February 2020

කොරෝනා වෛරසය හේතුවෙන් මෙම මාසයේ දී ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතව සිටි තරගාවලි රැසක් සඳහා සහභාගී නොවීමට අදාළ ක්‍රීඩා සංගම් තීරණය කර ඇති බවට ‘අරුණ‘ට වාර්තා වේ. මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල ගෙන් විමසන ලදුව‘ ඇත්තටම මේ වෙනකොට ඇතිවෙලා තියන සෞඛ්‍ය ගැටලුව ටිකක් භයානක මට්ටමක තියෙන්නේ. මේ හේතුව නිසා අපි මෙම මාසයේ පැවැත්වෙන තරගාවලි සඳහා සහභාගි කරනවද නැද්ද කියන ගැටලුව ගැන අපි අදාළ සංගම් එක්ක කතා කළා. බර ඉසිලීමේ සංගමය තවම අපිට නිශ්චිත පිළිතුරක් දීලා නම් නෑ. ඒ ඇරෙන්න අනිත් සංගම් විසින්ම මට කිව්වා එයාලගේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලිවලට යොමු කරවන්නේ නෑ කියලා. ‘යනුවෙන් පැවසීය. ශ්‍රී ලංකාව ඇතුළුව තායිලන්තය, කෙන්යාව සහ හොංකොං යන කණ්ඩායම් හි සහභාගිත්වයෙන් හොංකොං හිදී මෙම මාස 20 වැනිදා ආරම්භ වීමට නියමිත දැල්පන්දු ටෙස්ට් තරගාවලිය සඳහා ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි නොවේ. මීට අමතරව බංග්ලාදේශයේ පැවැත්වෙන අන්තර්ජාතික දුනුවිදීමේ තරගාවලිය සඳහා ද තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොකරන්නට දුනුවිදීමේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයින් 4 දෙනෙකු සහභාගි වීමට නියමිත උස්බෙකිස්ථානයේ පැවැත්වෙන යොවුන් ආසියානු බර ඉසිලීමේ තරගාවලිය සඳහා පමණක් මේ වනවිට නිශ්චිතව තීරණයක් ගෙන නොමැත. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල් මහතා‘ ඇත්තටම මගේ පෞද්ගලික මතය නම් මෙම තරගාවලිවලට අපි නොයා යුතුයි. මොකද අපේ අයට විවිධ ගුවන් සමාගම් වල ගමන් කරන්න වෙනවා. අපි දන් නෑ තව සති දෙකකින් මෙම තත්ත්වය මොන අතට හැරෙයිද කියලා. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තියෙන රට හරහා දිවීමේ තරගාවලියත් කල් දමන්නට අපි තීරණය කළා. අපිට වටින්නේ අපේ දරුවන්ගේ ආරක්ෂාව‘ යි පැවසීය. චතුර රණසිංහ
 

More News..