brand logo

කොරෝනා නිසා නැවතුන අධිකරණ කටයුතු හෙට සිට අරඹයි

19 April 2020

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටුවා  තිබුණු අධිකරණ කටයුතු (20) දින සිට යළි ආරම්භ කරන ලෙස අධිකරණ සේවා කොමිසම විසින් විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව මහාධිකරණ,  සිවිල් අභියාචනා මහාධිකරණ, වානිජ මහාධිකරණ, දිසා අධිකරණ , මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්ච සභාවල විනිසුරුවරුන් වෙත අධිකරණ සේවා කොමිසම විසින් චක්‍රලේඛයක් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කොට ඇත.
මෙහිදී අධිකරණ සේවා කොමිසම විසින් දැනුම්ද ඇත්තේ පසුගිය දිනවල අධිකරණ කටයුතු අත්හිටුවා තිබීම හේතුවෙන්  කල් දමනු ලැබූ නඩු සඳහා යාවත්කාලීන කරන ලද නඩු දිනයන් ලබාදීමට කටයුතු කර ලෙසයි. එසේ යාවත්කාලීන කරන ලද නව නඩු දින අධිකරණයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනයට තබන ලෙස ද අධිකරණ සේවා කොමිසම සිය චක්‍රලේඛය මගින් විනිසුරුවරුන්ට උපදෙස් දී ඇත. එසේ යාවත්කාලීන කරනු ලබන නව නඩු දිනයන් ජූනි මස 30 වන දාට පෙර යොදා ගැනීමට අවධානය යොමු කරන ලෙස ද අධිකරණ සේවා කොමිසමේ එම උපදෙස් වල වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ගොනුකර තිබෙන ඇප අයදුම්පත් ලබන 23වනදා සහ 24 වනදා යන දිනවල සලකා බැලීම සඳහා කැඳවන ලෙසද අධිකරණ සේවා කොමිසම එම අධිකරණවල විනිසුරුවරුන්ට දන්වා තිබේ. එම කටයුතු ඉටු කිරීමේදී එම අධිකරණ වල සේවය කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ සෙසු නීතිඥවරුන්ගේ සහාය ලබා ගන්නා ලෙස ද දැනුවත් කර තිබෙන අධිකරණ සේවා කොමිසම මෙම කටයුතු සඳහා අවම කාර්ය මණ්ඩලයක් යොදා ගැනීමට අවධානය යොමු කරන ලෙස ද වැඩිදුරටත් විනිසුරුවරුන් වෙත දන්වා තිබේ.
(අධිකරණ වාර්තාකරු)
 

More News..