brand logo

කොරෝනා නසන ප්‍රතිශක්තිය වඩන ආහාර මෙන්න

13 November 2020

කොවිඩ් ​රෝගීන් මෙන්ම මේ දිනවල සෙසු ජනතාව ද සෞඛ්‍ය ආරක්ෂිත ආහාර, එළවළු, පලතුරු පරිභෝජනයට ගැනීම ඉතා වැදගත්ය. විශේෂයෙන් ශරීරයේ ත්‍රිදෝෂ සමතුලිතව තබා ගැනීම නිරෝගී භාවයට මහත් සේ ඉවහල් වන බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ම.හේ. නිමල් කරුණාසිරි පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, නිරතුරුව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා කෘත්‍රිම ආහාර වෙනුවට කොළ පැහැති එළවළු, පලාවර්ග, කහ පැහැති සහ රතු පැහැති එළවළු සහ පලාවර්ග ආහාරයට ගැනීම සුදුසු බවය. විශේෂයෙන් කොවිඩ් රෝගීන්ට දේශීය සහල්වලින් පිසින ලද බත්, කැඳ වැනි දේ ලබා දීම ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වන බවද හෙතෙම සඳහන් කළේය. ශරීරය තුළ ඇති බැක්ටීරියා පාලනය කර ගැනීමට අප ගන්නා ආහාර රටාව වැදගත් බවද ඔහු කීය. විශේෂයෙන්ම කොවිඩ් රෝගීන්ට වැඩි වශයෙන් පලතුරු වර්ග හා ඇඹුල් රසැති පලතුරු ලබාදීම වඩාත් ගුණදායක බවද වෛද්‍ය නිමල් කරුණාසිරි පැවසීය. උදාහරණ ලෙස සඳහන් කළොත් දොඩං, නාරං, කාමරංකා, ඇඹරැල්ලා වැනි පලතුරු වර්ග වඩාත් ගුණදායක වන අතර කටුක රසයෙන් යුත් ආහාර වර්ගද මෙම රෝගීන්ට සුදුසු බව ඔහු කීය. කුරුඳු, ඉඟුරු, ගම්මිරිස්. තිප්පිලි, සියඹලා, ගොරකා, වැනි දෑය. දින දෙකකට වරක්වත් මෙවැනි කටුක රස ඇති ද්‍රව්‍ය යොදා සාදා ගන්නා හොදි වර්ග (රසම්) මෙම රෝගීන්ට ලබාදීම වඩා යහපත් බව ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි වැඩිදුරටත් පැවසීය. වරුණි පෙරමුණ
 

More News..