brand logo

කොරෝනා දේශීය සිනමාවට යහපතක් කළා

16 June 2020

සිනමා කර්මාන්තය අර්බුධයක තිබුණත් සෞඛ්‍ය නීති රීති අනුව මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් තමාගේ සිනමා නිර්මාණයේ වැඩකටයුතු ආරම්භ කළා.මේ කතා බහ ඒ ගැනයි. ඔබේ කුළුඳුල් සිනමා සිත්තම වන ‘සහෝ’ හි වත්මන් තත්ත්වය? මා සරසවි ශිෂ්‍යයෙක්ව සිටි කාලේ ''සිනා කඳුළක් '' කියලා මිලි මීටර් 16 චිත්‍රපටයක් කළා. ඒ නිසා මේක මගේ කුළුඳුල් සිනමා නිර්මාණය නොවෙයි. ඉන් පසුව කළේ ''සිත්තර ගුරුන්නාන්සේ, රම්‍ය නගරය, තුම්බිය, සූසැට මායම් , සමනල කඳවුර'' කියන ටෙලි නාට්‍ය. ඉන්පස්සේ '' මහසමයම, මහසුපින '' කියන වේදිකා නාට්‍ය. දැන් ''සහෝ'' චිත්‍රපටය. නිර්මාණ අත්දැකීම් සමග ජීවත්වීමක්. එහි දැනට රූගතකිරීම්වල අවසාන හරියේ ඉන්නේ. නැවතත් රූගත කිරීම් ඇරඹුණා නේද? ඔව්. මේ සතියේ පටන් නැවත රූගත කිරීම් පටන්ගත්තා. කොවිඩ් 19 නිසා ඔබේ චිත්‍රපටයට වුණ බලපෑම? ඒක හොඳ බලපෑමක් කියලයි මම හිතන්නේ. ලංකාවේ හුඟක් චිත්‍රපට එක හුස්මට ගහලා දාන සම්ප්‍රදායක් තියෙන්නේ. එතකොට අධ්‍යක්‍ෂවරු යාන්ත්‍රිකයි. දැන් මට වුණත් රූගත කිරීම් නවත්වලා චිත්‍රපටය ගැන පසු විපරම් කරන්නත් නැවත හිතන්නත් වෙලාවක් ලැබුණා. ඒක මෙරට චිත්‍රපට රූගතකිරීම් සංස්කෘතියට ආදර්ශයක් කියලා මම හිතන්නේ. නවකතාවක් ලියන්න ගන්න කාලයවත් එම නවකතාව රූගත කරන්න ගන්නේ නෑ අපේ රටේ. රූපය පරිස්සමින් භාවිත කළ යුතු භාෂාවක්. ඔබේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ ඉදිරි බලාපොරොත්තුව? ඒ ගැන නම් ඒ තරම් අදහසක් මට නෑ. නමුත් මෙම චිත්‍රපටය නිමවා ගැනීමට ඔවුන් මෙම කොරෝනා ව්‍යවසනය තිබියදීත් උනන්දුවෙන් ස්ථිර අධිෂ්ඨානයකින් සිටීම සතුටක්. සහෝ චිත්‍රපටයට අමතරව වෙනත් කලා නිර්මාණ කිරීමට අදහස් කරනවා ද? ඔව්. මම මටම සුවිශේෂී නිර්මාණ භාවිතයක ඉන්නේ. කලාව මගේ ජනප්‍රියත්වය ගොඩනගාගන්න හෝ කලාකරුවෙක් වෙන්න මම භාවිත කරන්නේ නෑ. ඉදිරියේදී හිතෙන හිතෙන ආකාරයට විවිධ කලා නිර්මාණ කරාවි. මෙම කොරෝනා අවධියේ ''අතත්‍ය සන්නිවේදනය'' ගැන ශාස්ත්‍රීය පොතක් ලීවා. චිත්‍රපටයකට තිර පිටපතක් ආරම්භ කළා. අමතරව වෙනත් නිර්මාණයක් ගැනත් ආරම්භයක් කරලා තියෙනවා. සිනමාහලට අභියෝගයක් වී ඇති සමාජ දුරස්ථභාවය ජයගන්නේ කොහොමද? කොරෝනා නැතත් මේ ධනේශ්වර ක්‍රමය මිනිසා මිනිසාගෙන් අාධ්‍යාත්මිකව දුරස්ථ කරලා තියෙන්නේ. සිනමා ශාලාවක එකට ඉඳගෙන හිටිය කියලා සමීප මානව බැදීම් ගොඩනැගුනේ නෑ. නමුත් අද සිනමා ශාලා ගැන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කොරෝනා අවම වෙලා යනකොට මිනිසුන් සිනමාශාලා කරා එනවා. මොකද කොරෝනා කාලේ තරුණ පරම්පරාව පරිගණකයෙන් චිත්‍රපට බැලීමට විශාල වශයෙන් පුරුදු වුණා. ඒක අනාගත සිනමාවට හොඳ පසුබිමක් හදලා දුන්නා. කොහොමත් අනාගතේ චිත්‍රපට වැඩියෙන් බලන්නේ අන්තර්ජාලා ඔස්සේ කියන එක කාටවත් නතර කරන්න බෑ. හැබැයි හොඳ සිනමා සංස්කෘතීන් තියෙන රටවල සිනමා ශාලාවලට යන පුරුද්ද නැතිවෙන්නේ නෑ. හරියට දියුණු රටවල වේදිකාව මියැදෙන්නේ නෑ වගේ. අනාගතේ මිනි සිනමා ශාලා වැඩිවශයෙන් ඇති වෙයි. හෝම් සිනමාව වර්ධනය වේවි. DVD නිෂ්පාදනය බෙදාහැරීම වැඩිවේවි. Netflix වැනි අන්තර්ජාලා භාගතකිරීමේ ක්‍රම තවදුරටත් පැමිණේවි. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලංකා සිනමාවේ අනාගතය පිළිබඳ ඔබේ අදහස ? ලංකාවේ සිනමාවේ අනාගතය බිඳවැටිලා තියෙන්නේ කලක ඉඳලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇති අනවබෝධය සහ නුවුමනාව ඉන් ප්‍රධාන වෙනවා. අනෙක රාජ්‍ය නොවන ජාත්‍යන්තර බලවේගවලට නව සිනමාකරුවන් හසුවීමෙන් කලාත්මක සිනමාව පටුමගකට ප්‍රවේශව තිබීම. සිනමා අධ්‍යයනය පාසල් විෂයක් ලෙස ඇතුළත් නොවීම, සිනමා කර්මාන්තය සම්බන්ධ පර්‌යේෂණ නොමැතිකම වගේ ගොඩක් හේතු මෙයට බලපාලා තියෙනවා. කොරෝනා නිසා බහුතරයක් තුළ සිනමාව ගැන අලුත් උනන්දුවක් ඇතිවෙලා. කොරෝනා නිවාඩුවේදී තිර රචනා ලියවිලා ඇති. ඉතින් කොරෝනා දේශීය සිනමාවට හොඳක් කළේ. නිර්මාණ කටයුතු හා සම්බන්ධ පුද්ගලයෙක්, විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් හා මාධ්‍ය කටයුතුවල යෙදෙන්නෙක් වශයෙන් පසුගිය මාස දෙක තුළ ඔබ කාලය ගතකළේ කොහොමද ? විවේකී අවධියක් වුණත් සමාජ ගනුදෙනු නැතිවීමෙන් අහිමිවූ දේ තිබෙනවා. කාලයෙහි ඇති වටිනාකම තේරුණා. අපට අප ගැන හිතන්න වෙලාවක් ලබලා දුන්නා. භෞතික අගයන්ට වඩා අාධ්‍යාත්මික අගයන්වල වටිනාකම ලෝකයා සාකච්ඡා කරනවා දැක්කා. ලෝකයේ ධනවත් රටවල අමනුස්සකම දැක්කා. ධනේශ්වරය ලෝකයට කරලා තියෙන විනාශය හා කරන විනාශය දැක්කා. මේ සියල්ල අවධානයට ගනිමින් ඉදිරි ගුරුකමත් කලා වැඩත් කරන්න හිත හදා ගත්තා. මේ තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුණහොත් සිනමාපටය ප්‍රේක්ෂකයන් හමුවට ගෙනයාමට විශේෂ වැඩපිළිවෙළක් තිබෙනවාද ඔබට? දැනට මගේ සිනමා පටය ප්‍රදර්ශනය කිරීම ගැන කල්පනා කළේ නැහැ. එහි තවමත් රූගත කිරීම් කෙරෙමින් පවතිනවා. ඒ කටයුතු අවසන් වන විට තත්ත්වය යහපත් වේවි යැයි සිතනවා. කෙසේ නමුත් අප කළ යුත්තේ සිනමා සංස්කෘතිය ගොඩනැගීමයි. 60 - 70 දශකවල හොඳ සිනමා සංස්කෘතියක් මෙරට තිබුණා. උදාහරණයක් විදියට මම කුරුණෑගල නගරයට සැතපුම් 12 දුරින් හිටියේ. රාත්‍රී 10.30 චිත්‍රපට දර්ශනය බලලා ගෙදර යන්න බස් එක තිබුණා. චිත්‍රපටය ඉවර වුණාම බස් එක යන්නේ. අද තත්ත්වෙ කොයි තරම් වෙනස්ද කියලා හිතලා බලන්න. අනාගතේ සිනමා ශාලාවේ තිරය දැනට වඩා විශාල වන්නේ නම් ප්‍රක්ෂකයින් ඒවි. ඒක ලෝක ප්‍රවණතාවක් වේවි. අනෙක ගම්බදව මිනි සිනමා හල් ඉදිකළ හැකියි. නිවාසවල ඩිජිටල් සිනමා ශාලා ඇති කළ හැකියි. හැබැයි මේ දේවල් ඔහේ සිද්ධ වෙන්නේ නෑ. ප්‍රතිපත්ති සැලසුම්, නව ව්‍යපෘති ජාතික මට්ටමින් ආරම්භ කරන්න ඕනෑ. සෝබා.ඩී. කොලියවංශ ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
 

More News..