brand logo

කොරෝනා ගැන ඇති ප්‍රචලිත මතයක් බොරු වෙයි

02 November 2020

දවසකට කිහිප විටක් හුමාලය ඇල්ලීම මගින් Covid-19 ආසාදනයෙන් වැලකී සිටිය හැකි බවත් රෝගී වූ අයට ඉන් සුවය ලැබිය හැකි බවත් ප්‍රකාශ කෙරෙන පෝස්ටු දිනපතා සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වන බැවින් ඒ පිළිබඳව ඇති විද්‍යාත්මක පසුබිම සොයා බැලීමට සිතුවෙමි. ඒ සඳහා මම මුලින්ම රොයිටර් පුවත් සේවය මේ පිළිබඳව දක්වන අදහස කෙටියෙන් ගෙන හැර දක්වමි.
  • මෙම ලිපිය රොයිටර් පුවත් සේවයේ දත්ත පරික්ෂක කණ්ඩායම විසින් එළි දක්වා තිබුණි.
".....ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (U.S. Centers for Disease Control and Prevention) හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නව කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස හුමාලය ඇල්ලීම (කිසිදු අමුද්‍රව්‍යයක් සමඟ හෝ) යෝජනා නොකරයි. එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි නියෝජිතයෙකු රොයිටර් පුවත් සේවයට කියා සිටියේ නව කොරෝනා වෛරස ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස හුමාලය ඇල්ලීම උපකාර වන බව පෙන්වන කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයක් පිළිබඳව තමා නොදන්නා බවයි. සමාජ මාධ්‍ය ජාලා වල දිගින් දිගටම හුවමාරු වන මෙම පෝස්ටු කියා සිටින්නේ උතුරන වතුරේ වාෂ්පය/හුමාලය ආශ්වාස කිරීම (සමහර විට විවිධ අමුද්‍රව්‍ය යොදන ලද ජලයේ හුමාලය) මගින් මෙම නව කොරෝනා වෛරසය විනාශ වන බවය. මෙය අසත්‍යයකි. ස්වසන මාර්ගයේ ඇති තදබදය (Congestion) වැනි රෝග ලක්ෂණ ලිහිල් කිරීමෙන් හුස්ම ගැනීම පහසු කිරීමට එය උපකාරී වූවත් , හුමාලය ආශ්වාස කිරීම පිළිස්සුම් අවදානම සහිතයි…" https://www.reuters.com/article/uk-factcheck-steam-kills-coronavirus-idUSKBN21H2LK
  • මේ සබැඳිව "ද ලැන්සෙට් (THE LANCET)" නම් වෙබ් අඩවිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කොට තිබූ නිබන්ධනයෙන් උපුටා ගත් ⁣කොටසක් පහත දක්වමි.
"...පොදු වැරදි වැටහීම නම්, හුමාලය ආශ්වාස කිරීම ශ්වසන පද්ධතියේ රෝග ලක්ෂණ ඇතිවීම වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට ප්‍රයෝජනවත් වන බව පිළිගැනීම ය. මෙම භයානක පුරුද්ද ක්‍රියාවට නැංවීම සඳහා දෙමාපියන් නොමඟ යැවීමේදී සමාජ මාධ්‍ය ජාලා සහ සත්‍ය යැයි ඔප්පු නොකළ ප්‍රභවයන්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම්ව ගෙවල්වල සාදන ලද උපදෙස් ප්‍රකාශන විශාල කාර්යභාරයක් සිදු කරයි…" හුමාලය ඇල්ලීමේ ක්‍රියාවලියේදී ඇති විය හැකි පිළිස්සුම් තුවාල (විශේෂයෙන් ළමයින්ට) පිළිබඳ ව මෙම ලිපිය තදින් අවධාරණය කරයි. https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(20)31144-2/fulltext
  • ඩිජටල් මෙඩික්(DIGITAL MEDIC) නම් වෙබ් අඩවිය මේ සබැඳිව දක්වා ඇති කරුණු පහත දක්වමි.
"....මෙය අසත්‍යයකි. හුමාලය ආශ්වාස කිරීමෙන් වෛරසය මිය යන බවට කිසිදු සාක්ෂියක් නොමැත. අප නව කොරෝනා වෛරසය මගින් ආසාදනය වූ විට වෛරසය අපගේ සෛල තුළ පවතින අතර හුමාලය ආශ්වාස කිරීම වෛරසයට බලපාන්නේ නැත. ඉතා උණුසුම් ජලය (සෙල්සියස් අංශක 70 ක් හෝ ඊට වඩා උණුසුම්) සහ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් පෘෂ්ඨයන් මත ඇති වෛරසය විනාශ කළ හැකි නමුත් එම ජලය සහ රසායනික ද්‍රව්‍ය ඔබේ ශරීරයේ ඇති වෛරසය විනාශ කිරීමට ආරක්ෂිතව යෙදිය හැකි නොවේ. උණු වතුර ඔබේ මුහුණ හා ස්වසන මාර්ගය සමඟ සමීපව භාවිතා කිරීමට යාමෙන් පිළිස්සුම් හා බරපතල හානි සිදුවිය හැක, එබැවින් කරුණාකර හුමාලය ආශ්වාස කිරීමට උත්සාහ නොකරන්න…" https://digitalmedic.stanford.edu/myth/myth-inhaling-steam-is-an-effective-covid-19-treatment/
  • සෙම්ප්‍රතිශ්‍යාව, කෝඨරක ප්‍රදාහය(Sinusitis) වැනි තත්ත්වයන්හි දී හුමාලය ඇල්ලීම මගින් ඇතිවන සහනශීලි බව විස්තර කරන ජනප්‍රිය වෙබ් අඩවියක් වන HEALTHLINE මෙසේ ප්‍රකාශ කරයි.
"....හුමාලය ඇල්ලීම මගින්, සෙම්ප්‍රතිශ්‍යාව සහ අනෙකුත් ඉහළ ශ්වසන පථ( Upper Respiratory Tract Infections) ආසාදන වලදී ඇති වන රෝග ලක්ෂණ වලට සහනයක් ලබා දිය හැකි නමුත්, ඇත්ත වශයෙන්ම එමගින් ඔබේ ආසාදනය වේගයෙන් පහව යන්නේ නැත. හුමාලය ඇල්ලීම ඇත්ත වශයෙන්ම ආසාදනයට වගකිව යුතු වෛරසය විනාශ නොකරයි…" තව දුරටත් එය මෙසේ ද සඳහන් කරයි."...සෙම්ප්‍රතිශ්‍යාව ඇති වැඩිහිටියන් සඳහා හුමාලය ඇල්ලීමෙහි ප්‍රතිඵල තක්සේරු කරන සායනික අත්හදා බැලීම් 6ක එක් සමාලෝචනයක් මිශ්‍ර ප්‍රතිඵල ලබා දී ඇත. සමහර සහභාගිවන්නන්ට සහනයක් තිබුනද අනෙක් අයට එසේ නොවීය. මීට අමතරව, සමහර සහභාගිවන්නන් ට හුමාලය ඇල්ලීම නිසා නාසය තුළ අපහසුතාවයක් ඇති විය…" https://www.healthline.com/health/steam-inhalation#benefits
  • මුහුණු පොත හරහා මිලියන 2.4 ක ජනකායක් නරඹා ඇති හුමාලය ඇල්ලීම මගින් නව කොරෝනා වෛරසය විනාශ කර දමන බව කියන වීඩියෝවට ප්‍රතිචාර දක්වන සුප්‍රකට "FACTCHECK" වෙබ් අඩවිය වෛද්‍ය ජේසන් මැක්නයිට් ගේ මෙම අදහස් ගෙන හැර දක්වයි.
"...පොදුවේ ගත් කල, ඕනෑම ආකාරයක ශ්වසන රෝගයකදී හුමාලය ඇල්ලීම කැස්ස, නාසයේ තදබදය සහ පපුවේ තදබදය වැනි රෝග ලක්ෂණ වලට උපකාරී වන බව පෙනී යා හැකිය. කෙසේ වෙතත්, මෙය රෝග ලක්ෂණ වලට සහනයක් පමණක් වන අතර එය කිසිදු වෛරස් ආසාදනයකට ප්‍රතිකාරයක් නොවේ. රත් වූ ජල වාෂ්පයෙන් ඔබේ ඇස්වලට, මුහුණට සහ ආශ්වාස මාර්ගයට පිලිස්සුම් තුවාල සිදුවීමෙන් ඔබට සැබෑ හානියක් සිදු විය හැකි අතර, එය දැඩි වුවහොත් බරපතල හා දිගු කාලීන සංකූලතා ඇති කළ හැකිය” (Dr. Jason McKnight, Assistant Clinical Professor in the Department of Primary Care and Population Health at Texas A&M University).
  • එම FACTCHECK වෙබ් අඩවිය කොරෝනා වෛරසය පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය බෙන්ජමින් නෙයුමාන් ගේ අදහස් ද ගෙන හැර දක්වයි.
"....පෙනහළු සියුම් වන අතර හුමාලය ඉතා උණුසුම් වේ. උණුසුම් හුමාලය මගින් පෙනහළු වලට හානි කළ හැකි අතර එය වෛරසයකට එරෙහිව සටන් කළ හැකි නම් පෙනහළු වලටද හානි කරනු ඇත. එය නරක උපදෙසකි…" (Dr. Benjamin Neuman-Biological Sciences department at Texas A&M University-Texarkana.) "..හුමාලය ආශ්වාස කිරීමෙන් ආසාදනයට ප්‍රතිකාරයක් හෝ සුවයක් ලැබෙනු ඇතැයි මම නොසිතමි…" යැයි එම වෙබ් අඩවියට වෛද්‍ය කැරීන් ලේ රොච් ප්‍රකාශ කොට ඇත. (Dr. Karine Le Rocha-Professor of Cell Biology at the University of California, Riverside) https://factcheck.afp.com/inhaling-steam-will-not-treat-or-cure-novel-coronavirus-infection   හුමාලය ඇල්ලීම මගින් නව කොරෝනා වෛරස ආසාදනයෙන් මිදිය හැකි බව සහ ඉන් සුවය ලැබිය හැකි බව යන කරුණු දෙකම ලොව පුරා විද්වතුන් විසින් සහේතුකව ප්‍රතික්ෂේප කොට ඇති බව ඉහතින් දැක් වූ කරුණු අනුව පෙනී යයි.නව කොරෝනා වෛරසයෙන් ආසාදනය වූ කෙනෙකුට හුමාලය ඇල්ලීම මගින් හුස්ම ගැනීමේ පහසුව වැනි සහනයක් පමණක් උදා කර ගත හැකි බව පෙන්වා දෙන ඔව්හු හුමාලය ඇල්ලීමේ අනතුරුදායක බව ද ඒ සමග පෙන්වා දී ඇත.එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (U.S. Centers for Disease Control and Prevention) තම මාර්ගෝපදේශයන් හී හුමාලය ඇල්ලීම පිළිබඳව කිසිදු යෝජනාවක් නොකරයි. https://perma.cc/2D2G-FEJ8 https://perma.cc/SKK8-YGP8 ඉහතින් දක්වා ඇති වෙබ් ලිපින ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එක්සත් ජනපද රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානයේ නිල වෙබ් පිටුවලට පිවිස ඔබට ම මාර්ගෝපදේශ පරික්ෂා කළ හැක. - වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු - ( වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු )  
 

More News..