brand logo

කොරෝනා එන්නත අත්හදා බලන්න සිරුර දීපු ඉන්දියානුවා කෝටි 5ක් වන්දි ඉල්ලයි

01 December 2020

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මෙහෙයවීම මත වැඩිදියුණු කෙරෙන ‘කොවිෂීල්ඩ්’ නම් කොවිඩ් -19 වයිරසයට එරෙහි එන්නත පරීක්ෂා කිරීම, නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම වහාම නතර කරන ලෙස නියෝගයක් ලබා දෙන්නැයි අදාළ එන්නත අත්හදා බැලීම සඳහා ස්වෙච්ඡාවෙන් එක් වූ පුද්ගලයෙක් ඉන්දීය වෛද්‍ය පර්‌යේෂණ කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් නොතීසියක් යවා ඇත. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඇස්ට්‍රාසෙනකා සහ ඉන්දියාවේ පූනේහි පිහිටි සේරම් සමග එක්ව මෙම එන්නත වැඩි දියුණු කරමින් සිටී. 40 හැවිරිදි ව්‍යාපාරික උපදේශකයකු වන මෙම ඉන්දීය ජාතිකයා අධිකරණයට පවසා ඇත්තේ පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත ලබාගැනීම හේතුවෙන් තමාට මේ වන විට ස්නායු හා මානසික ආබාධ ඇතිවී තිබෙන බවයි. එම තත්ත්වය මත තමාට වන්දි වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 05 ක්ද ඉල්ලා ඇත. මෙම පුද්ගලයා පසුගිය ඔක්තෝබර් 01 වැනිදා චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්‌යේෂණ ආයතනයේදී තවත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් කිහිප දෙනකු සමග කොවිෂීල්ඩ් එන්නත් කරගෙන ඇත. ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය ආයතනික ආචාර්ය ධර්ම කමිටුව විසින් මෙම පුද්ගලයාට අදාළ සෞඛ්‍ය ආබාධ උද්ගතව ඇත්තේ එන්නත නිසාමදැයි මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටී. මෙම ස්වේච්ඡා පුද්ගලයාගේ ඉල්ලීම පරිදි චෙන්නායිහි නීති උපදේශක ආයතනයක් පසුගිය නොවැම්බර් 21 වැනිදා ඉන්දීය වෛද්‍ය පර්‌යේෂණ කවුන්සිලය සහ මධ්‍යම ඖෂධ ප්‍රමිතිපාලන සංවිධානය වෙත නොතිසි යවා ඇතැයි India today පුවත්පත වාර්තා කර ඇත. කෙසේ වෙතත් ඉන්දියාවේ සේරම් ආයතනය අදාළ පුද්ගලයාගේ චෝදනාවට එරෙහිව නඩු පවරන බව ප්‍රකාශ කර ඇත. සේරම් ආයතනය ප්‍රකාශ කරන්නේ ‘‘ද්වේශ සහගත සහ වැරදි චෝදනා’’වලට එරෙහිව ඉන්දීය රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා නඩු පවරණ බවයි. කොවිඩ් -19 එන්නත සහ අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය ගැටලු අතර කිසිදු සබඳතාවක් නොමැති බවද සේරම් ප්‍රකාශ කර තිබේ. නයන තරංග ගමගේ
 

More News..