brand logo

කොරෝනා එන්නතෙන් ප්‍රතිශක්තිය වර්ධනය වෙලා ද බලන්න පරීක්ෂණයක්

06 June 2021

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජිවන්දර වෛද්‍ය පර්යේෂකයෙක් වේ. අද ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේය.

ලංකාවේ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ඔබේ ආයතනය මගින් පර්යේෂණයක් සිදුකර තිබේද? ඔව්. අපි පර්යේෂණයන් සිදුකරමින් පවතිනවා. දැනට ලංකාවේ දී එන්නත්කරණය සඳහා එන්නත් වර්ග තුනක් භාවිතයට ගන්නවා. ඒ කොවිෂීඩ්, කොවිඩෝ සහ ස්පුට්නික් V යන එන්නත් වර්ග තුනයි. මේ එන්නත් තුනම ලංකාවට ආවට පස්සේ එහි සාර්ථකත්වය කොපමණද කියලා බලන්න අපි පර්යේෂණයක් කරනවා. ඒ පර්යේෂණයේදී පළමුවෙන්ම කරන්නේ යම් කිසි පුද්ගලයෙක්ගෙන් එන්නත ලබා ගැනීමට පෙර රුධිර සාම්පලයක් ගැනීමයි. ඊළඟට ඔහුට එන්නත ලබාදී මාසයක් ගිය පසු නැවතත් ඔහුගෙන් රුධිර සාම්පලයක් ලබා ගන්නවා. මේ කියන රුධිර සාම්පල දෙකම පරීක්ෂා කරලා පෙරට වඩා එම පුද්ගලයාගේ ශරීරයේ එන්නත නිසා ප්‍රතිදේහ වර්ධනය වෙලාද කියලා නිරීක්ෂණය කරනවා. ඒ විදිහට තමයි අපි එන්නත් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන්නේ.

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීඩ් එන්නතින් ප්‍රතිදේහ වර්ධනය වෙලා තියෙනවද?

ඔව්. අද වෙනකොට කොවිෂීඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදෙන කාලය දීර්ඝ වෙලා තියෙනවා. ඒ නිසා එම එන්නත ලබාගත් පුද්ගලයන්ගේ රුධිර සාම්පල ලබාගෙන මාස තුනක කාලයක් පුරා ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිදේහ කුමන ආකාරයකට වර්ධනය වෙලා තියෙනවද කියලා අපි පර්යේෂණයක් කළා.

 

කොවිෂීල්ඩ් එන්නත ගත් 93%කගේ ප්‍රතිදේහ අලුතින් වර්ධනය වෙලා

එහි ප්‍රතිඵලය වුණේ කලින් ප්‍රතිදේහ නොමැති පුද්ගලයන්ගෙන් සියයට අනූතුනකට එන්නත නිසා අලුතින් ප්‍රතිදේහ වර්ධනය වී තිබීමයි. ඇත්තටම එය ඉතාමත් සාර්ථක ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සිව්වැනි වරටත් අපි ඔවුන්ගෙන් රුධිර සාම්පල ලබාගනිමින් සිටිනවා. ඒ ඔවුන්ගේ වර්තමාන තත්ත්වය කෙසේද කියා පරීක්ෂා කරන්නයි.

අද වෙනකොට හැමෝම කතාබහ වෙනවා ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාදීම ප්‍රමාණවත් කියලා. ඇත්තටම, ඒ කතාව නිවැරැදිද?

අද වෙනකොට මහනුවර ප්‍රදේශයේ ස්පුට්නික් V එන්නතේ එන්නත්කරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒත් මේ එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා දුන්නට ඇති කියලා ස්පුට්නික් V එන්නතේ මව් සමාගම කියලා තිබුණා.

ඇත්තටම එහෙම සාර්ථකද, එය අපේ ජනතාවට ප්‍රමාණවත් ද කියලා බලන්න අපිට අපේම පර්යේෂණ වාර්තාවක් ඕනේ. 

ඔවුන් කියූ පමණින් එය එසේමයි කියලා පිළිගන්න බැහැ. ඒ නිසා අපි මේ එන්නත ලබාදීලා මාසයක් ඇතුළත එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් ලේ සාම්පලයක් ගන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් දෙවැනි මාත්‍රාව ලබාදීමට සුදුසු ද නොසුදුසු ද කියලා කියන්න හැකියාවක් නැහැ.
 

More News..