brand logo

කොරෝනා උණුසුම අස්සේ කෘත්‍රිම කුළුබඩු

12 October 2020

  මාවනැල්ල බැමිණියවත්ත ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගියේ යැයි පැවසෙන නීති විරෝධී කෘත්‍රිම කුළුබඩු නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබූ තුනපහ කුඩු කිලෝ 641ක්, මිරිස්කුඩු කිලෝ 864 ක්, වර්ණ ගැන්වූ කහ කුඩු කිලෝ 40ක් සහ කෘත්‍රිම වර්ණක අඩංගු විශාල ටින් ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් හා මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ. මෙම වැටලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කෘත්‍රිම කහ කුඩු, මිරිස් කුඩු සහ තුනපහ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා ගබඩාකර තිබූ පණු කැදලි සහිත සුදු කැකුළු සහල් කිලෝ එකසිය පනහක්, ගම්මිරිස් කිලෝ දෙසියක්, රතු පැහැති කෘත්‍රිම ඩයි කිලෝ තිහක්,වෙනත් කෘත්‍රිම වර්ණක කිලෝ තිහක්, කහ වර්ණ පැකට් එකසිය පනහක්, කඩල පිටි කිලෝ හතළිහක් පමණ සොයා ගෙන ඇත.අදාළ නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. සමන් විජය බණ්ඩාර - මාවනැල්ල
 

More News..