brand logo

කොරෝනා ආසාදිත ජාල හඳුනා ගැනීමට සිංගප්පූරුවෙන් අලුත් යෙදවුමක්

30 June 2020

කොරෝනා ආසාදිතයන්ගේ සම්බන්ධතා ජාල හඳුනා ගැනිම සඳහා බ්ලූටූත් උපයෝගී කරගනිමින් නව තාක්ෂණික උපාංගයක් හඳුන්වා දීමට සිංගප්පූරුව පියවර ගෙන තිබේ. ඒ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණිනි. මෙම උපාංගය ස්මාර්ට් දුරකථන යෙදවුම(app)ට විකල්පයක් ලෙස භාවිත වේ. එබැවින් ජංගම දුරකථන රහිත හෝ දුරකථන භාවිතයෙන් තොර අය පිළිබඳවද විමසිලිමත්වීමට හැකියාව ලැබේ. එමගින් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ගැනද අවධානය යොමුකර ඇත. මෙම උපාංගයේ පළමු තොගය ලබාදී ඇත්තේ වැඩි අවදානමක් සහිත වැඩිහිටි පුරවැසියන්ටය. එම සෑම උපාංගයකටම ආවේණික QR කේතයක්ද තිබේ. වරින් වර ආරෝපණය කිරීමේ අවශ්‍යතාවක්ද පැන නොනගින අතර බැටරිය වරක් ආරෝපණය කළ පසු මාස 9ක කාලයකට එය ප්‍රමාණවත්ය. උපාංගය ක්‍රියාත්මක වීමේදී ආසන්න පරිසරයේ ඇති බ්ලූටූත් සංඥා සමග සම්බන්ධ වේ. එමගින් කොරෝනා ආසාදිතයකු අසල සිටින්නේ නම් ඒ පිළිබඳ දැන්වීමක් කෙරේ. අදාළ දත්ත උපකරණයේ ගබඩා කරගැනීමටද හැකිය. සිංගප්පූරු රජය පවසන පරිදි දින 25ක කාලයක් උපරිම වශයෙන් එම දත්ත එහි තැන්පත්ව පවතී. එම දත්ත දුරස්ථ පාලන ක්‍රමයට හැසිරවීමේ හැකියාවක් නැත. ඒ අන්තර්ජාල සබඳතාවන් නොමැති බැවිනි. සෙලියුලර් දුරකථනයක් ලෙසද එය ක්‍රියාත්මක නොවේ. GPS සම්බන්ධතාවක්ද නොමැත. එබැවින් ස්ථානීය දත්ත රැස්කර ගැනීමට නොහැකිය. ආර්ථික කටයුතු සඳහා රට යළි විවෘත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමත් සමග මෙවැනි පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත. මෙම උපාංගය PCI නම් සිංගප්පූරු සමාගමේ නිර්මාණයකි. සිංගප්පූරු ඩොලර් මිලියන 6ක ටෙන්ඩරයක් එම සමාගමට ලැබී ඇත්තේ අදාළ උපාංග 300,000 ක් සැපයීමටය. මේ අනුව එක් උපාංගයක වටිනාකම සිංගප්පූරු ඩොලර් 20 කි. ඉකුත් ඉරිදා එරටින් නව ආසාදිතයන් 213 ක් වාර්තා විය. ඉන් 11 දෙනෙක් ප්‍රජාව අතරින් වන අතර සෙසු පිරිස විදේශීය ශ්‍රමිකයන්ය. සඳුදා වන විට සිංගප්පූරුවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 43,459 කි.   ධම්මික සෙනෙවිරත්න
 

More News..