brand logo

කොරෝනා ආසාදිතයෙකු නිසා හොරණ අවන්හලක් වසා දමයි

15 July 2020

කන්දකාඩුව මධ්‍යස්ථානයට සම්බන්ධ පිළියන්දල ප්‍රදේශයේ හමුදා නිලදාරියෙකුට කොව්ඩ් - 19 ආසාදනය වී ඇති බවට ඊයේ (14) හඳුනාගෙන තිබේ. මෙම හමුදා නිලධාරියා පසුගිය ජූලි 05වන දින සිය බිරිඳ සමග ආහාර පාන ලබා ගත් හොරණ නගරයේ සුදේරිස් සිල්වා මාවතේ අවන්හලක් වසා දැමීමට හොරණ නගර සභා සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. එහි දී ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කළ එම අවන්හලේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව හොරණ නගර සභා සෞඛ්‍ය අංශ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනිල් කුමාර මහතා පැවසීය. අදාල හමුදා නිලධාරියා සහ ඔහුගේ බිරිඳ ආහාර ලබාගත් අදාල අවන්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනාගේ පී.සීආර් පරීක්ෂණ ඉදිරියේදී ලබා ගැනීමට නියමිත බවත් ඔවුන් යාල සෙනසුන් ගොඩ හා රත්මල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. දෙවෙන කොරෝනා රැල්ල ආරම්භ වී ඇති මේ මොහොතේ හොරණ නගරයට පැමිණෙන ජනතාවගෙන් නිරන්තරයෙන් මුව ආවරණ පැළඳීම සිදුකරන ලෙසත් දුරස්ථභාවය තබාගෙන කටයුතු කිරීම, දෑත් සේදීමට කටයුතු කරන ලෙසත් නගරය තුළ තැන තැන කෙළ ගැසීමෙන් කුණු කසල දැමීමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක කුමාර මහතා පැවසීය. මංගල එදිරිසිංහ - අඟුරුවාතොට
 

More News..