brand logo

කොරෝනා ආසාදිතයෙක් ඩුබායි යන්න කටුනායකට ඇවිත්

13 May 2021

කොවිඩ් ආසාදිත බවට සඳහන් පී.සී.ආර් වාර්තාවක්ද අතැතිව විදේශගත වීමට පැමිණි පුද්ගලයකු පෙරේදා ( 11 වෙනිදා ) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනය සඳහා යොමුකරන ලදී. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වන මොහු එයාර් ඇරබියා ගුවන් සමාගමට අයත් G9 504 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්වයෑමට පැමිණ සිටියේය. මෙරට ප්‍රධාන පෙළේ නම් දැරූ රෝහලකින් පී.සී.ආර් වාර්තාවක් ලබාගෙන සිටි මෙම පුද්ගලයා ගුවන්තොටුපළ ආරක්ෂක අංශය විසින් අදාළ වාර්තාව පරීක්ෂා කරන තුරුත් තමන් කොවිඩ් ආසාදිතයකු බව නොදැන සිටීම විශේෂත්වයකි. මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිත බව පී.සී.ආර් සිදුකළ රෝහල මගින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත වහා දැනුම්දීමට බැඳී සිටියද එවැන්නක් සිදුකර නොමැති බව ගුවන්තොටුපළ සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. මෙලෙස අදාළ රෝහල වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම නිසා මෙම පුද්ගලයාගෙන් ආසාදිතයන් රැසක් නිර්මාණය වීමේ ඉඩ පරාසය ඉතා වැඩි බවද එම නිලධාරීහු පෙන්වා දෙති. ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ හඳුනාගැනීමට ලක් නොවූ නම් මෙම පුද්ගලයා ගුවන්තොටුපළ පරිශ්‍රය තුළට පිවිසීම හෝ ගුවන්ගත වීමේ අවකාශයද විය. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය දැනුවත් කිරීමට ගුවන්තොටුපළ සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගත් අතර නිරීක්ෂණයකින් තොරව පී.සී.ආර් වාර්තාව එහි හිමිකරු වෙත නිකුත් කළ රෝහලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවද පෙන්වා දෙයි. බේරුවල - ප්‍රසාද් ධර්මප්‍රිය
 

More News..