brand logo

කොරෝනා අසාදනයට පිළිතුර සුව කළ රෝගීන්ගේ ප්ලස්මා?

16 February 2020

නව කොරෝනා වෛරස් අසාදනයෙන් සුවය ලැබූ රෝගීන්ගෙන් එකතු කරන ලද ප්ලස්මා යොදා ගනිමින් සිදු කළ චිකිත්සාවන්ගෙන් චීනයේ නව කොරෝනා වෛරස් රෝගීන් 10 කට වැඩි පිරිසකට සහනයක් ලැබී ඇති බව එරට රාජ්‍ය ඖෂධ නිෂ්පාදනායතනයක් පසුගියදා නිවේදනය කළේය. මෙම පුවතත් සමග නව කොරෝනා වෛරස් අසාදනයට පිළියම් සෙවීමේ නව මාවතක් විවර වී තිබේ. නව ක්‍රමවේදයට අනුව රෝගීන්ට ප්‍රතිකාර ලබා දී පැය 12 ත් 24 ත් දක්වා කාලය තුළ, එම රෝගීන් සාධනීය සායනික ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔවුන්ගේ ශරීර උෂ්ණත්ව දර්ශක සැලකිය යුතු ලෙස අඩුවී තිබේ. ඒ අතරම, ඔවුන්ගේ රුධිර ඔක්සිජන් සන්තෘප්තබව සහ තවත් ප්‍රධාන දේහ දර්ශක අගයන් පුළුල් හා සාර්ථක ලෙස ඉහළ ගිය බව බව එම ඖෂධ නිෂ්පාදනායතනය පවසයි. රජයට අයත් චයිනා නැෂනල් ෆාමසොටිකල් කෝපරේෂන් (State-owned China National Pharmaceutical Group Corp) ආයතනය විසින් මෙම නව චිකිත්සක ක්‍රමය අත්හදා බලා තිබේ. පෙබරවාරි 8 වන දින හුබෙයි පළාතේ වුහාන් හි රෝහලක රෝගීන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර පසුව තවත් එවැනි රෝගීන් වැඩි වශයෙන් රෝහල කරා රැගෙන එන්නට විය. ඒ අනුව, ඔවුන් වෙත, මීට කලින් සුව වූ රෝගීන් විසින් පරිත්‍යාග කරන ලද ප්ලස්මා යොදා ගනිමින් දැඩි රුධිර ආරක්ෂණ පරීක්ෂණ සිදු කෙරුණු අතර ඒ අනුසාරයෙන් රෝගීන්ගේ සිරුරු තුළ වෛරසය අක්‍රීය කිරීමට සහ අසාදනයට එරෙහි ප්‍රති-වෛරස හෙවත් ප්‍රතිදේහ නිෂ්පාදනය පිණිස අවශ්‍ය ඖෂධ ලබා දී තිබේ. ඖෂධ නිෂ්පාදනායතනය විසින් ඉකුත් ජනවාරි 20 වන දින සිට, සුවය ලැබූ රෝගීන්ගෙන් ප්ලස්මා එකතු කිරීම ආරම්භ කළේය. නව කොරෝනා වෛරසය ආශ්‍රිත පර්යේෂණ හා ඒ ආශ්‍රිත සංවර්ධන කටයුතු සඳහා යුවාන් මිලියන 400 ක (ඩොලර් මිලියන 57.2 ක්) අරමුදල් වෙන් කර ඇති බව ද එම ඖෂධ සමාගම පවසයි. කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා නිශ්චිත ඖෂධයක් සොයා විද්‍යාඥයින් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබූ පසුබිමෙක වුව ඉකුත් බ්‍රහස්පතින්දා වන විට චීනයේ පුද්ගලයන් 1,380 ක් වසංගත වෛරසය ආසාදනයෙන් මිය ගොස් තිබේ. වෛද්‍ය ප්‍රවීණයන් ට අනුව පූර්ණ සුවය ලැබීම ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ජනනය වන ප්‍රතිදේහ මතයි. ඉකුත් බ්‍රහස්පතින්දා සන්ධ්‍යා භාගයේදී හුබෙයි පළාත් රජයේ දිනපතා ප්‍රවෘත්ති මාධ්‍ය සාකච්ඡාවකදී, මෙම නව ප්ලස්මා ප්‍රතිකාරය රෝගීන් වෙනුවෙන් අනුමත කර ඇතිබව එහි ඉදිරි පෙළ වෛද්‍යවරයකු විසින් අනාවරණය කෙරිණි. ප්‍රතිකාර ක්‍රමය මගින් දැනටමත් ඉතා යහපත් ප්‍රතිපල පෙන්වීම ආරම්භ කර ඇති බව ද ඔහු අනාවරණය කළේය. සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ ප්ලාස්මාවේ, මාරාන්තික රෝග කාරකය විනාශ කිරීම පිණිස නිපදවුණු ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් අඩංගු බව ඔහු පැහැදිලි කළේය. දැනට රෝගයට ගොදුරු වී සිටින සියල්ලන්ගේම ප්‍රයෝජනය උදෙසා ප්ලස්මා පරිත්‍යාග කරන ලෙස, සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගෙන් විශේෂ ඉල්ලීමක් ද නිකුත් කර තිබේ. මේ අතර, ඊයේ දිනය අවසන් වන විට ෂැංහයි හි රෝහල්වලින් පිටව ගිය රෝගීන් 28 දෙනකු අතුරින් 6 දෙනකුම ඒ සඳහා ප්ලස්මා පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී සිටියහ. පරිත්‍යාගශීලීන් වයස අවුරුදු 18 ත් 60 ත් අතර විය යුතු අතර, ඔවුන් රෝහල් වලින් මුදා හැරීමෙන් අනතුරුව මනා සෞඛ්‍ය සම්පන්න බවකින් යුක්තවීමද මෙහිදී ඉතා වැදගත් වෙයි. කෙසේවුවත්, නව ප්‍රතිකාර ක්‍රමයේ පර්යේෂණ හා සංවර්ධන මෙන්ම සායනික උපයෝජනයන් තවමත් පවතින්නේ ප්‍රමාණවත් අවධියක නොවන බැවින්, නව ක්‍රමය භාවිතා කිරීමේදී අමතර ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කිරීමට තවදුරටත් උත්සුක වන ලෙස ද ඒ පිලිබඳ විශේෂඥ උපදෙස් නිකුත් කර තිබේ. හර්ෂ උදයකාන්ත පීරිස්
 

More News..