brand logo

කොරෝනා අස්සේ හැදෙන විනාඩි 45 චිත්‍රපටය

21 November 2020

සංජීව පුෂ්පකුමාර කියන්නෙ මේ වෙද්දි ජාත්‍යන්තර අවධානය දිනාගත් ජාත්‍යන්තර සම්මානලාභී තරුණ සිනමාකරුවෙක්. ඔහුගේ සිනමා ආ ගමනය සිද්ධ වෙන්නෙ වෙනස්ම ආරක සිනමා නිර්මාණයකින්. ඒ ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය තුළින්. මෙම ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය Tiger Awards Competition එකේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පවා නියෝජනය කරමින් ජාත්‍යන්තර අවධානයට ලක් වූ නමුත් ශ්‍රී ලංකාව තුළින් ලැබුණේ වෙනස්ම ප්‍රතිචාරයක්. මේ ගැන සංජීව වරෙක ප්‍රකාශ කර තිබුණේ, "කිසියම් අභිලාෂයක් එක්ක තමයි මේ සිනමාවට ඇතුළු වුණේ. ඒ නිසා ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ තියෙන මතය පිළිබඳ කනගාටුවක් නැහැ කියලා" කෙසේ වෙතත් ඔහුගේ සිනමා ගමන එතැනින් නොනැවතී ඉදිරියට ආවේ ඒ ඔහු තුළ තියෙන දැඩි අධිෂ්ඨානය නිසාමයි. ඊට පසු ඔහුගේ සිනමා කතාවේ නැවතුම්පල වුණේ දැවෙන විහගුන් චිත්‍රපටය. මේ සිනමා කෘතියත් දෙස් විදෙස් ඇගයුමට ලක්වන්නේ යළි යළිත් ඔහුගේ සිනමා ඇස ජාත්‍යන්තර ඇගයුමට ද ලක් කරමින්. මෙලෙස සිනමාවේ මං සලකුණු සනිටුහන් කරමින් සිනමා අදියුරෙකු ලෙසින් දිගු ගමනක් යන්නට උත්සාහ දරන සංජීව පුෂ්පකුමාරගේ අලුත් ම නැවතුම "ආසු" ‘ආසු’ කියන්නෙත් ජාත්‍යන්තර සහයෝගය මත නිර්මාණය වෙන වෙනස්ම ආරක චිත්‍රපටයක්. අනික් අතට සත්‍ය සිදුවීමක් පසුබිම් කර ගත් කතාවක්. මේ අලුත් නිර්මාණයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. සංජීව කියන විදියට ආසු හි ධාවන කාලය විනාඩි 45ක්. සංජීව මේ ආසු චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදියට තෝරාගෙන තියෙන්නේ උදාරි වර්ණකුලසූරිය. ඊට අමතරව රංගන දායකත්වය ලබා දෙනවා ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, රේණුකා බාලසූරිය. ඒ වගේම තවත් විශේෂත්වයක් තමයි මේ ආසු චිත්‍රපටයේ සෝමරත්න දිසානායක පවා රංගනයෙන් දායක වීම. ආසු චිත්‍රපටය ගැන කෙටි සටහනක් තබනවා නම්, නෙලුම් තමා මේ ආසුහි කතා නායිකාව. ඇය අවුරුදු 31 එකක සුන්දර කාන්තාවක්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. බිමල් නම් සංගීත ශිල්පියෙක් සමග විවාහ වෙලා ඉන්න නෙලුම්ට අවුරුදු තුනක දියණියක් ඉන්නවා. ඒ වගේම තව දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා. කුසට මාස හයක් වගේ වෙද්දි නෙලුම් ජීවිතේ අභාග්‍යසම්පන්න අත්දැකීමකට මුහුණ දෙනවා ඒ පියයුරු පිළිකාවක් ඇති වීමෙන්. වෛද්‍ය උපදෙස වෙන්නෙ හදිසි ප්‍රතිකාරවලට යොමුවීම වුවත් ඒ සියල්ල නෙලුම් ප්‍රතික්ෂේප කරන්නෙ නූපන් සිය බිළිදාට හානියක් වෙයි කියා. කෙසේ හෝ ඇය අවසානයේ මාස හතෙන් සිසේරියන් සැත්කමකින් නිරෝගී පුතෙකු බිහිකරනවා. තම ලෙයින් හැදෙන කිරි ටික පවා නොදෙන්නට වෙද්දී ඒ සියලු වේදනාවන් ඉවසමින් පිටිකිරි දී දරුව රැකගන්නව. කෙසේ වෙතත් පුතුට මාස තුන වෙද්දී නෙලුම් ජීවිතේ එක්ක සටන් කර මරණය හමුවේ ඇය පරාද වනවා. නමුත් ඇය සිය පුතුට අවුරුදු 10 දී ලැබෙන්නට ලිපියක් ද ලියා තබනවා. ඒ ලිපිය වසර 10කින් පසු විවෘත වන පසුබිම ආසු චිත්‍රපටය තුළින් ඔබට දැක ගත හැකියි. "ආසු" හි කැමරාකරණය විශ්වා බාලසූරිය. සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න. නිෂ්පාදන කළමනාකරණය හැරල්ඩ් කරුණාතිලක. සංස්කරණය අජිත් රාමනායක. නිෂ්පාදනය - නෙක්ස් ටෙන් ආයතනය. සම නිෂ්පාදනය - සුරංග හඳපාන්ගොඩ. රේඛිය නිෂ්පාදනය - රේණුකා බාලසූරිය මේ ගතකරන කාල සීමාව පොදුවේ ගත් කල සිනමාවට සුබ කාලයක් නොවූවද ඉදිරියේ දි සුබවාදීව දකින්නට හැකි වෙනස්ම ආරක සිනමා නිර්මාණයක් වන බව නම් නොඅනුමානයි. අනුෂා රණසිංහ
 

More News..