brand logo

කොරෝනාවෙන් ලෙඩවූ මනසට අංගොඩින් සුවය

12 November 2020

කොවිඩ් - 19 මේ වනවිට සියලු ලෝකවාසීන්ගේ සාමාන්‍ය ජීවන රටාව වෙනස් කර ඇත. මේ වෙනස් වූ ජීවන රටාව සමග ජනතාවගේ මානසික ආතතියද ඉහළ ගියේ මෙම වයිරසය සමාජගත වන වේගයෙන්මය. මේ හේතුවෙන් අද වනවිට සමාජයේ බොහෝ දෙනකු විවිධ මානසික ගැටලුවලට නොදැනුවත්වම ගොදුරු වී තිබේ. බොහෝ පිරිස් තමන්ට තිබෙන ප්‍රශ්න, ගැටලු ප්‍රසිද්ධියේ කිසිවකු සමග කතා කිරීමට මැළිකමක් දක්වති. මෙහි අයහපත් ප්‍රතිඵලය වන්නේ තමාගේ සිත් වේදනාවන් ආයාසයෙන් යටපත් කරගැනීම නිසා මානසික ආතතිය වැඩිවීමය. කොරෝනා ආසාදිතයකු බවට පත්වූ පුද්ගලයකුටද සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර එතරම් යහපත් නැත. එයට එක් හේතුවක් වන්නේ රෝගයේ ඇති භයානකකම වන්නට පුළුවන. එසේ වුවද එය රෝගියාගේ මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ගේද මානසිකත්වය බිඳ හෙළීමට හේතු වන්නේය. කොරෝනා නිසා සමාජගත වූ මානසික ගැටලු කෙතරම් ව්‍යසනයක් බවට පත්ව ඇතැයිද කිවහොත් පසුගිය දිනවල කිහිප දෙනකු සියදිවි හානි කරගෙන තිබිණි. ජා-ඇල ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක් සිය කාමරය තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ තම බෑණාට සහ මිනිපිරියට කොරෝනා වැලඳුණ බව දැනගත් නිසාය. මතුගම යටියන ප්‍රදේශයේ ලංගම බස් රථ රියැදුරකු වත්තේ රබර් ගසක එල්ලී දිවි හානි කරගෙන තිබුණේ එම බස්රියේ ගමන් කළ මගියකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගත් පසුය. ඒ තමාටද කොරෝනා වැලඳෙනු ඇතැයි බියට පත්වීම නිසාය. අද වනවිට කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශාල පිරිසක් නිරත වී සිටියද ඔවුන් අතරත් නොයෙකුත් මානසික ගැටලු නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ. සමහරුන්ට තම අඹු දරුවන් දකින්නට කාලයකින් නිවෙස්වලට යෑමට නොහැකි වී ඇත. එසේම සමහර පවුල්වල මව නැතිනම් පියා හෝ ඒ දෙදෙනාම දරුවන්ගෙන් වෙන්ව සේවයේ නිරත වී සිටිනවා විය හැකිය. තවත් පවුල්වල සැමියා හෝ බිරිඳ නැතිනම් දරුවෝ හුදෙකලා වී සිටිති. මේ තත්ත්වය කවදාක නිමාව දකීදැයි ඔවුනට අවිනිශ්චිතය. මෙවැනි ප්‍රශ්න නිසා සිතේ විශාල පීඩනයක් දරාගෙන ජීවත් වන පිරිස් මේ වනවිට සමාජයේ සිටිති. මෙබඳු මානසික ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් ලබාදෙන ස්ථානයක් හා විශේෂඥ මනෝ වෛද්‍ය උපදෙස් සේවාවක් දිවා රාත්‍රී ක්‍රියාත්මක වන බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි. එම ආයතනය වන්නේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයයි. එහි 1926 යනුවෙන් වෙනම ඒකකයක් මේ සඳහා පිහිටුවා ඇත. මානසික ගැටලුවක් උද්ගත වූ ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක ඉන්නා අයකු වෙතොත් වහාම 1926 අංකයට ඇමතුමක් ලබාදී විසඳුමක් ලබාගන්නට හැකියාව ඇත. මේ අංකයට මේ දක්වා ඇමතුම් දහස් ගණනක් ලැබී ඇති අතර ඔවුන්ට මනෝ වෛද්‍ය උපදෙස්ද ලබාදීමට මෙම ඒකකය කටයුතු කර ඇත. කෙනකුට දරාගන්න බැරි මානසික ආවේගයක් ඇවිල්ලා සියදිවි හානිකර ගැනීමට තරම් තත්ත්වයක් උද්ගත වුවහොත් වහාම ඉහත අංකයට කතා කිරීමෙන් ඒ මොහොතේම උපදෙස් ලබාගත හැකියි. එලෙස ඇමතූ විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට මෙම විශේෂඥ උපදේශක මණ්ඩලය සමත් වී තිබේ. ඊට අමතරව ඉකුත් මස 10 වැනිදා සිට දුරකථන සමාගමක් සමග සම්බන්ධ වී ‘චැට් ලයින්’ (Chat Line) ක්‍රමයට තරුණ පරපුරට පොදුවූ ගැටලුවලට විසඳුම් ලබාගත හැකි ක්‍රමවේදයක්ද මෙම ආයතනය විසින් සකසා ඇත. කොරෝනා මර්දනය සඳහා විශාල කැපවීමක් කරනු ලබන සෞඛ්‍ය ආරක්ෂක අංශ ඇතුළු කාර්ය මණ්ඩලවල මානසික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා 0712578578 දුරකථන අංකය හඳුන්වා දී ඇත. මානසික රෝහලේ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ මෙම සමාජ ගැටලුව පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය. ‘‘අද තරුණ, වැඩිහිටි, මහලු බොහෝ පිරිසක් තම තමන්ටම සීමාවුණු මානසික ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටිනවා. මානසික ගැටලුවක්, එසේත් නැතිනම් දරාගත නොහැකි පීඩාකාරී තත්ත්වයක් තියෙනවා නම් 1926 අංකයට ඇමතුමක් ලබාදී විසඳුම් ලබාගැනීමේ හැකියාව ඕනෑම කෙනෙකුට තියෙනවා. එහෙම අයට එවේලේම විශේෂඥ මනෝ වෛද්‍ය සේවාවෙන් විසඳුම් ලැබෙනවා. ඒ වගේ කතා කරපු විශාල පිරිසකගේ ජීවිත බේරා දීමට අපට හැකිවුණා. ඒ අය හදිසි වෙලා ගන්න ගිය තීරණ ගැන අද පසුතැවිලි වෙනවා. ජීවිතේ අලුතින් පටන් අරන් තියෙනවා. අපි අලුතින් ආරම්භ කළා ‘චැට් ලයින්’ ඇමතුම් ක්‍රමයක්. ඒක තරුණ දුවා දරුවන් වෙනුවෙන්මයි. ඒ අය නවීන තාක්ෂණය, සන්නිවේදන මෙවලම් නිතර පරිහරණය කරන පිරිසක්. මේ අයට පුළුවන් තමන්ගේ දෙමාපියන්ට, යාළුවන්ට, වැඩිහිටියන්ට කියන්න බැරි මානසික, සමාජයීය ගැටලු චැට් කිරීමෙන් අප වෙත යොමු කරන්න. චැට් කරන්නේ කාටද කියලා පේන්නේ නැති නිසා ඒ අයට පුළුවන් ඕනෑම පෞද්ගලික ගැටලුවක් වුණත් ඉදිරිපත් කරන්න. මේ ඇමතුම් ක්‍රමය ආරම්භ කළාට පස්සේ විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. භද්‍ර යෞවනයේ පසුවන දරුවන්ට තියෙන ප්‍රශ්න තමයි තමන්ට ආදරය කරන කෙනා අමනාපවීම, නිතර නිතර කේන්ති යාම, මතක තබාගැනීමේ අපහසුව, ලිංගික ගැටලු වගේ දේවල්. ඒවා ගැන මේ අය ‘චැට්’ කරලා තිබුණා. පසුගිය (උ.පෙ.) විභාගයට පෙනී සිටි දරුවන්ට සුපුරුදු රටාවෙන් මිදී නුහුරු පරිසරවල විභාගයට පෙනී සිටීම නිසා අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක් ඒ අයට ඇතිවී තිබුණා. දරුවන්ගේ ඇමතුම් 500 කට වඩා ලැබිලා තිබුණා. දිනපතා උදෑසන 8 සිට සවස 4 දක්වා මෙලෙස ‘චැට්’ කිරීම කළ හැකියි. කොරෝනා මර්දන කටයුතුවල නිරතව සිටින කාර්ය මණ්ඩල සඳහා ආරම්භ කරපු අලුත් අංකය තමයි 0712578578. සවස 2 සිට රාත්‍රී 10 දක්වා මෙම සේවයෙන් උපදෙස් ලබාගන්න පුළුවන්. එමෙන්ම එස්.එම්.එස්. පණිවුඩ මගින්ද තම ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. තවත් එකක් කියන්න ඕනෑ. අද මාධ්‍ය මගින් සියදිවි හානිකර ගැනීම් ආදිය වාර්තා කිරීමේදී එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා දැනුවත් වීමේ දුරකථන අංකයක් සඳහන් කරන්නේ නම් එය විශාල සමාජ මෙහෙවරක් වනවා.’’ සිරිසේන ගමගේ - කොළොන්නාව
 

More News..