brand logo

කොරෝනාවෙන් පණ අදින ලාංකිකයන්ගෙන් රුමේනියාවේ සිට තවත් වීඩියෝවක්

14 May 2020

රුමේනියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොවිඩ් - 19 වෛරස හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව අරුණ පළමු වරට මෙරටට අනාවරණය කරන ලද්දේ පසුගිය මැයි 06 වැනිදාය. එදින ප්‍රවෘත්තියකින් අප වාර්තා කළේ එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 05 දෙනකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉන් දින දෙකකට පසු අප තවත් පුවතකින් වාර්තා කළේ රුමේනියාවේ ඩම්බොවියා ප්‍රාන්තයේ පෞද්ගලික ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයන් 40 දෙනකුට පමණ සේවයට නොපැමිණෙන ලෙස ආයතන ප්‍රධානීන් දැනුම් දී ඇති බවය. ඊට හේතුව වී තිබුණේ මෙම ශ්‍රී ලාංකිකයන් ආශ්‍රිතව වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බවට ආයතන ප්‍රධානීන් විශ්වාස කිරීමයි. කෙසේ වෙතත් එදින වන විට තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුටද වෛරසය ආසාදනය වී තිබුණු අතර සමස්ත ශ්‍රමික පිරිසම ඒ වන විට අනාරක්ෂිතව දැඩි අසීරුතාවට පත්ව තිබිණි. කෙසේ වෙතත් එම ආයතන ප්‍රධානීන් සිය ශ්‍රමිකයන්ට කිසිදු මූලික පහසුකමක් හෝ සැපයීමට මැදිහත් වී තිබුණේ නැත. දැන් එම ශ්‍රී ලාංකිකයන් අතුරින් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් තමන් පත්ව ඇති දුක්ඛිත මෙන්ම මාරාන්තික තත්ත්වය විස්තර කර ඇත. විශේෂත්වය වන්නේ වීඩියෝවේ සිටින සියලුම පිරිස් තමන්ට වෛරසය අසාදනය වී ඇතැයි ද ​රෝහලක කිසිදු පහසුකමක් නොමැතිව රඳවා ඇතැයිද වේදනාත්මක ආකාරයෙන් ප්‍රකාශ කිරීමයි. මෙහි දැක්වෙන්නේ ඔවුන් තමන් පත්ව ඇති තත්ත්වය පැහැදිලි කරන ආකාරයයි. මෙහි සිටින අය අතුරින් එක් අයෙක් දැඩි අසීරුතාවකින් හුස්ම ගන්නා ආකාරයද දැකගත හැකි වේ. ‘‘අපි කොරෝනා හැදිලයි ඉන්නේ. මේ ඇඳේ ඉන්න අයියාව (දැඩි අපහසුවකින් පසුවන එක් පුද්ගලයෙක් පෙන්වමින්) අමාරු උණකින් පස්සේ අපි හොස්පිටල් එකකට ගියා. එතනින් පීසීආර් එකක් කරලා උණ බලලා වෙනත් හොස්පිටල් එකකට දැම්මා. ඒකේ දවස් නවයක් විතර හිටියා. අද උදේ ඇවිත් කිව්වා ඔක්කොම ලෑස්ති කරගන්න වෙනත් ​හොස්පිට්ල් එකකට දානව කියලා. දැන් පැය බාගෙකට කලින් අපි එතනටත් ආවා. අපිට ගොඩක් මහන්සියි. ඔළුව කැක්කුමක් හැදිල තියෙන්නේ. කවුරුත් ආවේ නැහැ බලන්න. මේ අයියා වමනෙ ගිහින් අමාරු වෙලායි ඉන්නේ. කතා කරන්නත් අමාරුයි. හතිය වගේ. පුළුවන්නම් අපිව ලංකාවට ගෙන්නගෙන උදව්වක් කරන්න. නැත්නම් අපි මෙහෙ මැරිල යයි. අපිව බලන්න මෙහෙ කවුරුත් නැහැ. ප්ලීස් අපිට උදව් කරන්න. අපි මෙහෙ පස් දෙනෙක් ඉන්නවා. ඊයෙත් තව එක්කෙනෙක් අමාරු වෙලා හොස්පිට්ල් ගෙනත් දැම්මා. එයා කොහේ ඉන්නවද කියලා කවුරුත් තාම දන්නෙ නැහැ. අපි වැඩකරපු ආයතනයෙන්වත් අපි ගැන හොයල බලන්නෙ නැහැ. හරියට කෑමක්වත් දෙන්නෙ නැහැ. මෙම තත්ත්වය පිළිබඳව අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ රුමේනියාවේ ශ්‍රීලාංකිකයන් පිළිබඳ කටයුතු සොයා බලනු ලබන්නේ පෝලන්තයේ පිහිටි ශ්‍රී ලංකාකොන්සල් ජෙනරාල් කාර්යාලයකින් බවයි. එහි තානාපතිවරයාව සම්බන්ධ කර ගැනීමට අප කිහිපවිටක්ම උත්සාහ කළත් එම උත්සාහයන් අසාර්ථක විය.   නයන තරංග ගමගේ
 

More News..