brand logo

කොරෝනා පාලනය කළ හැකියි - ලෝක සෞඛ්‍ය ප්‍රධානියා චීනයේ දී කියයි

29 January 2020

චීනය පදනම් කරගනිමින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය වැළැක්වීමට හා පාලනය කිරීමේ හැකියාව පිළිබඳව තමා විශ්වාසයෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ජෙනරාල් TEDROS Adhanom Ghebreyesus පවසයි. වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා චීනයේ සිදුකරන සංචාරය අතරතුර බීජිං නුවරදී චීන විදේශ ඇමැති වැන්ග් යී ඉන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය. මෙම හමුව සිදුවූයේ ඊයේ (28 වැනිදා) දිනයේය. මෙහිදී ටෙ​ඩ්‍රොස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෛරසය වැළැක්වීමට සහ පාලනය කිරීම සඳහා චීන ජනරජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව හා ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ප්‍රසාදය පළකරන බවයි. චීනයේ රැඳී සිටින විදේශිකයන් වහාම ඉවත් කිරීම සහ හදිසි ක්‍රියාමාර්ගවලට යොමුවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත නොකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අන්තර්ජාතික ප්‍රජාව වෙතද එහිදී කියා සිටියේය. මේ අතර මාරාන්තික නව කොරෝනා වෛරසය ඉක්මනින් පරාජය කිරීමට නොහැකිවනු ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ විශේෂඥ පර්​ෙ ය්ෂකයකු වන මහාචාර්ය ඩේවිඩ් ෆිල්මන් විදෙස් පුවත් සේවය හමුවේ සඳහන් කර ඇත්තේ නව කොරෝනා වෛරසය තවත් මාස කිහිපයක කාලයක් පුරා ව්‍යාප්ත වෙමින් පවතිනු ඇති බවයි. එම කාලය ඇතුළත දසදහස් ගණනක් ලෝ වැසියන් වෛරසයේ ආසාදිතයන් වීමේ දැඩි අවදානමක් පවතින බවද මහාචාර්වරයා පවසයි. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ බෝස්ටන් ප්‍රාන්තයේ 'Northeastern' විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලෙජැන්​ඩ්‍රෝ වෙස්පිගානි (Alejandro Vespasian) සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ බලපෑම මීළඟ සති හෝ මාස කිහිපයේදී අවසන් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවයි. මෙම නව වෛරසය අවම තරමින් ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයන් සිව් දෙනකුට ව්‍යාප්ත විය හැකි තරමේ ප්‍රබලත්වයකින් යුතු බවද ඔව්හු සඳහන් කරයි. මෙම මහාචාර්යවරුන් දෙදෙනාම සඳහන් කර ඇත්තේ අනුමත විෂබීජ නාශක යොදා නිරන්තරයෙන් දෑත් පිරිසුදු කිරීම හා මුඛ ආවරණ පැලඳීම යන මූලික ආරක්ෂණ පියවරයන් අනුගමනය කිරීමෙන් පමණක් වෛරසය ව්‍යාප්තවීම විශාල ලෙස අවම කරගත හැකි බවයි. රෝගය සමග සටන් කිරීමට වඩා මෙම වෛරසය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය වීම වළක්වා ගැනීම රෝගය පාලනයට පවතින සාර්ථකම ක්‍රමවේදය බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙයි. නයන තරංග ගමගේ
 

More News..