brand logo

කොරියාවට ගිහින් වීරකම් කළ තවත් හසලක වීරයෙක්

22 December 2018

හසලක කී සැණින් මතකයට එන්නේ රට වෙනුවෙන් අලිමංකඩදී දිවිපිදූ "හසලක ගාමිණීය". එවන් විරුවෙක් පසුගිය කාලයේ යළිත් හසලකින් බිහිවුණේය. ඒත් ඔහු දිවි නොතකා වීර වැඩක් කළේ ලංකාවේ නොව කොරියාවේය. විසල් ගිනිජාලාවකින් වැසී ගිනිගෙන දැවෙන නිවසක් තුළට ගොස් වයස අවුරුදු 90 ක කොරියානු කාන්තාවක් පිටතට ගෙන මරණයෙන් බේරා ගැනීම ඒ වීරක්‍රියාවයි. ඒ නිසා වසර එකහමාරකට පසු ඔහු කළ ක්‍රියාව අගයනු වස් කොරියානු රජය පසුගිය 18 වැනිදා ඔහුට එරට පුරවැසිභාවය ලබා දුන්නේය. ජීවිතයට සිහින එකතු කරන්නට නිමල්සිරි පටන්ගත්තේ පාසල්වියේ සිටමය. ඒ සිහින ඉටුවෙනවා වෙනුවට එකින් එක බිඳවැටුණත් ඔහුගේ සිත පරාජිත වූයේ ද නැත. සරසවිය ලකුණු කීපයකින් අහිමි වෙද්දී, නොදන්නාකම නිසා ගුරුවිද්‍යාල පුහුණුව මගභැරී යද්දී රැකියාවක් ලැබේදැයි ඉලක්කයක් නැති ජීවිතයට ඔහු තවත් සිහිනයක් ඇමිණුවේය. ඒ කවදා හෝ ස්ථිර වෙතැයි සිතා ස්වේච්ඡා ගුරුවරයෙකු වීමයි. ඔහු මුලින් උගත් මිණිපේ දේවානන්ද විද්‍යාලයේ අවුරුදු පහක් ස්වේච්ඡාවෙන්  උගන්වන අතරතුරේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් බාහිර උපාධිය ද හැදෑරුවේය. ඒ බාහිර උපාධිය ඇති ස්වේච්ඡා ගුරුපත්වීම් ස්ථිර කරන නිසාය. කැටඹිල්ලේ කැටියෙගෙදර නිමල්සිරි බණ්ඩාරගේ ගම හසලක රන්දෙණිගල පාර මිණිපේය. නිමල්සිරිගේ පවුලේ වැඩිමල් සහෝදරයා මහණ වී සිටියත් පුංචි අප්පුහාමි තාත්තාට ගොවිතැනින් ගොඩනගන්නට තවත් දරු තිදෙනෙකු සිටියේය. ඒ නිමල්සිරිත්, අක්කා හා මල්ලීත් ය. ඒ උදව්වෙන් ජීවිතය නැගිටුවාගත් දරුවෝ තම තමන් යායුතු ඉසව් තෝරා ගත්හ. බාහිර උපාධියේ පළමු කොටස සම්පූර්ණ කළ නිමල්සිරිට පැවිදිව සිටි ලොකු සහෝදරයා වූ මිණිපේ විජිත හාමුදුරුවෝ ඉල්ලුම්පතක් ගෙනැවිත් දුන්නේය. ඒ රජයෙන් කොරියානු රැකියා අවස්ථාවලට යවන කොරියන් භාෂා විභාගයට ලිවීම සඳහා ඉල්ලුම්පතකි. ඒ සඳහා නුවර පන්ති යෑමේ පහසුවත් හාමුදුරුවන් සකසා දුන් අතර නිමල්සිරි 2010 වසරේ කොරියානු විභාගයට ලියා සමත්වුණේය. " කොරියන් විභාගය පාස්වුණ නිසා  බාහිර උපාධියේ දෙවැනි කොටසට මට ලියන්න හිතුණෙ නෑ. ඒත් කොරියාවට එනකල් ඉස්කෝලෙ උගන්නන්න ගියා. වෙබ් එකේ දාන අපේ නමට ඒ රටේ ගැණුම්කරුවෙකු ඉදිරිපත්වෙන්න ඕන විභාගය පාස් වුණත් කොරියාවට යන්න. මට අවස්ථාවක් ලැබෙන්නෙ අවුරුදු එකහමාරකින්. ඒ විභාගෙ පාස්වුණ අයගෙ අන්තිම කණ්ඩායමේ කෙනෙක් හැටියට. 2012 සැප්තැම්බර් මාසෙ දි මම කොරියාවේ ඉන්චෝන් නගරයට එනවා.මට රැකියාව කරන්න තිබ්බේ රසායන ද්‍රව්‍ය කොම්පැණියක. ඒකෙ මම හිටියෙ අවුරුදු එකහමාරයි. රසායන ද්‍රව්‍ය එක්ක වැඩ කරන්න අමාරුයි. මාස්ක් දාල හිටියට විෂ ශරීරගත වෙනවා. ඒ වගේමයි අත පය පිච්චෙනවා. ..." නිමල්සිරි කියන්නේ ඒ නිසා ඔහු කැමැත්තෙන් ඒ රැකියාවෙන් අයින් වුණ බවයි. ඉන්පසුව ඔහු ගිය වාහන කුෂන් කොම්පැණියද මාස කීපයක දී වැඩ නැති නිසා වසා දැමුණේය. ඔහු 2014 තේගු නගරයට එන්නේ ඉන්පසුවය. " අපිට මුලින්ම වීසා එක කොරියාවට දෙන්නෙ අවුරුද්දයි මාස හතරකට. රැකියා මාරු කරනකොට අපිට මාස තුනක් ඇතුළත රැකියාවක් හොයාගන්න ලියුමක් දෙනවා. ඒ කාලෙ ගතවෙන්න කලින් ඕනනම් ලංකාවට ගිහින් එන්නත් පුළුවන්. ඒ විදිහට ඔය අතරේ මමත් ලංකාවට ඇවිත් ගියා. මගේ වීසා එක ඉවරවෙන කාලෙ එනකොට මං වැඩ කරමින් හිටියෙ වීදුරු බෝතල් හදන කොම්පැණියක. ඒකෙදි වීසා ඉවරවෙනකොට යාළුවෝ මාර්ගයෙන් වීසා නැතිව වැඩ කරන්න පුළුවන් කොම්පැණියක රස්සාවක් හොයාගත්තා. වෙන රටවල්වල වගේම තමයි කොරියාවෙත් වීසා නැති අය අල්ලනවා. අහුවුණොත් ආයෙ කොරියාවට එන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් කරලා දවස් තුනක් ඇතුළත ලංකාවට එවනවා. ඒ හින්දා රස්සාව හොයාගත්තා වගේම අමාරුයි අහුවෙන්නෙ නැතුව ඉන්න එකත්. එකම එක පාරක් මම අහුවෙන්න ගිහින් බේරුණා. ඒ එදා මම හිටපු තැනට ඉස්සරහ සිද්ධවුණ දේවල් පෙනුණු නිසා. එදා දවල් මම එකපාරට දැක්කා මට මීටර් 40 ක් එහායින් මැෂින් එකේ හිටපු බංගලි, පිලීපීන දෙතුන් දෙනෙක් ඇතුළට ආව කට්ටියක් අල්ලගන්නවා. මට තේරුණා ඒ ඉමිග්‍රේෂන් එකෙන් කියලා. කාටවත් කිය කිය ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ. මම කාටත් ඇහැ නොගැහෙන්න තාප්පෙන් පැනලා එතනම මුවාවෙලා හිටියා. එදා අහුවුණේ නෑ. ඒත් මට හිතුණා ඒ කොම්පැණියෙ ඉන්න එක අවධානම් කියලා. ඒ නිසා මම එතන රැකියාව අතහැරියා..." ඒ බය වුණු බයවිල්ලට නිමල්සිරි ගියේ තේගු ශ්‍රී ලංකාරාමයටයි. එහි විහාරාධිපති වූ කටුවන විජිතවංශ හාමුදුරුවෝ එසේ වීසා නොමැතිව අසරණව එන ශ්‍රී ලාංකිකයන්ට නිරන්තරවම පිහිට වෙති. ඒ පිහිට නිමල්සිරිටත් ලැබුණේය. එතැන  හිඳිමින් ඔහු මිතුරන්ගේ උදව්වෙන් දවසෙ දෙකේ වැඩ සොයාගෙන ගොස් කළේය. එයින් ආදායමක් අතට ආවද කවුරුත් කීවාසේම එසේ ඇවිදින එක අනතුරුදායක බව නිමල්සිරිටත් දැනුණේය. බොහෝ විට වීසා නැත්තවුන් එරට රජයෙන් අල්ලාගනු ලැබුවේ වීදිවලදී හා රැකියා ස්ථානවලදීය. "ඒ ඉන්නකොට සුසන්ත අයියා මගින් තමයි ඇරබයිට් ඔෆිස් එකට සම්බන්ධවෙන්නේ. එතන වෙන්නෙත් අමුතු වැඩක්. ඒ කොම්පැණියෙන් කොරියාවේ දවසෙ වැඩවලට යවනවා. හැමදාම වැඩ හම්බවෙන දවසුත් තියෙනවා. නැති දවසුත් තියෙනව. උදේ 6 - 6.30 වෙනකොට එතන වැඩ දීලා ඉවරයි. ඒ හින්දා ඊට කලින් එතෙන්ට යන්න ඕන. ඒ වෙනකොට මම හිටියේ සුසන්ත අයියාගේ කාමරේ. දවසක් වැඩට යනකොට උදේ වැඩ දීලා ඉවරයි. තව 26 ක් 27 ක් විතර කට්ටිය එතන හිටියා. හිස් අතින් යන්න වෙයිද කියලා හිත හිත ඉන්නකොට ඇපල් වත්තක හිමිකරුවෙක් ආවා. ඒ ගොල්ලො ඕන සේවකයා තෝරන්නෙ කට්ටිය දිහා බලලා. එතන හිටපු ඔක්කොම උස මහත අය. මම විතරයි ඇඟපතින් පොඩි කෙනෙකුට හිටියෙ. ඔහු කට්ටියගෙ මූණු බල බල ඉඳලා මගේ මූණ දිහත් බලා ඉඳලා මාව ඉල්ලුවා. මං ඔහු එක්ක ගුන්වි පළාතෙ තියෙන ඔහුගෙ ඇපල් වත්තට ආවා. .." ඒ ආ ගමන ඉරණම් ගමනකැයි ඔහුට එදා හැඟුණේ නැත. ඇපල් වත්තේ හිමිකරු සමග එහි ගිය නිමල්සිරිට තිබුණේ කඩා අසුරා තිබූ ඇපල් පෙට්ටි වාහනවලට පැටවීමයි. එදා ඔහු පුරුදු ලෙස භොඳින් වැඩ කළේය. ඒ නිසාදෝ හිමිකරු ඔහුට පසුදා එහි එන ලෙස කීවේය. ඒ අයුරින් ඔහුට දින හතරක් පහක් එකදිගට වැඩ ලැබුණේය. සතියක් පමණ ගෙවෙද්දී ඇපල් කැඩිල්ල ඉවර වුණේය. "එතකොට ඔහු මගෙන් ඇහුවා දිගටම වැඩ තියෙනවා. කරන්න කැමතිද කියලා. මං එන්නම් කියලා පොරොන්දු වුණා. ඒ වෙනකොට මං සුසන්ත අයියගෙ බෝඩිමෙන් අයින් වෙලා වෙන එකක් අරන් හිටියෙ. ඇපල් කඩලා ඉවර වුණාම එන්නෙ සීත කාලේ. එතකොට තොල් පුපුරලා ලේ එනවා. අත පය ගල් වෙනවා. ඒත් මං වැඩකරනවා. වතු හිමිකරුට මාව හරි විශ්වාසවන්ත වෙලා තිබුණේ. මටත් එයාවෙ පුතෙකුට වගේම සැලකුවා. 2017 පෙබරවාරි 10 වැනිදාත් මං වැඩට ගියා. එදත් හිම වැටෙනවා. දවල් 11ට විතර කෑම කන්න ගියා. හේගුවාන් කියන කෑම කන තැන තියෙන්නේ ඇපල් වත්තට කිලෝ මීටරයක් දුරින්.. කෑම කාල 12.55 ට විතර විතර ආපහු ඇපල් වත්තට එනකොට ඉස්සරහට හම්බවුණ තැපැල් පියුන්. මගෙන් ඇහුවා හේගුවාන්වල කවුද ඉන්නෙ කියලා. කොරියන් අය ඉන්නවා කියලා මම නිකමට ඇහුවා ඇයි කියලා. පහළ ගේ ගිනි ගන්නවා කිව්වා. මම ආපහු වැඩට යන එක නවත්තලා ඔහුත් එක්ක ආයෙත් හේගුවාන් වලට ගියා. එතන හිටපු අයට ඒ පණිවිඩේ ඇහෙනකොට ඔවුන් හැමෝම වාහනවලට නැගලා එතෙන්ට යන්න ලෑස්ති වුණා.’’ නිමල්සිරි ද එතැනින් පිටත් වූ පළමු වාහනයට අත දිගු කර නැගී ඔවුන් හා ගිනිගන්නා නිවස වෙත ගියේය. ගෙදර අයිතිකාරිය ඉඳ තිබුණේ ද හේගුවාන් හි බවට නිමල්සිරි දැනගත්තේ ඈ වාහනයෙන්  බැස කෑගසාගෙන ගේ දෙසට දිව යද්දීය. " අම්මා ගේ ඇතුළෙ කියලා කෑගහගෙන ඒ ගෑනු කෙනා ගේ ළඟට දිව්වා.ඒක සාමාන්‍ය ලොකු ගෙයක්. තාප්ප ගේට්ටු නෑ. ගෙදර ඉස්සරහ පැත්තෙන් කිට්ටු කරන්න බෑ. ගින්දරවලින් වැහිලා. මෙහෙ ගෙවල් වටේ ගඩොල් බිත්ති තිබුණට ඇතුළෙ වෙන්කරලා තියෙන පැනල් එකේ තහඩු විශේෂයකින් ආවරණය කරපු රිජිෆෝම් එකක් තියෙන්නේ. ඒ හින්දා ගින්දර පැතිරීමත් ඉක්මන්. අම්මා ගේ ඇතුළෙ කියද්දි, ගන්න යන්න කවුරුවත් ඉදිරිපත් නොවුණත් මොන ගින්දරේ හරි මගෙ කකුල ඉස්සරහට තැබුණා. ජීවිතයක් නේද පිච්චෙන්න හදන්නෙ කියලා. ඒ අතරෙ එතෙන්ට ආව කොරියන් කට්ටිය වතුර හොයන්න, ගිනි නිවන ඒවා හොයන්න මහන්සි වෙනවා. ගේ ඉස්සරහින් මීටර් 5ක් 6ක් මෙහාට ගිනි රස්නෙ. කිට්ටු කරන්න බෑ. මගේ උත්සාහය දැකලා අයිතිකාර කාන්තාව ගේ පිටිපස්සට දිව්වා ගේ පිටි පස්සෙන් යන්න පුළුවන් කියලා. මාත් ඒත් එක්ක ගියා. ඒ තරමට ගේ පිටි පස්සට ගින්දර ඇවිත් තිබුණේ නෑ. ඒත් පිටිපස්සෙ දොර ඇරියම නම් ඒ පැත්තත් දුමෙන් පිරිලා තියෙන හැටි පෙනුණා " ගෙදර ඇතුළත ගැන කිසිවක්ම නොදැන සිටියත් යන්නේ ගිනිගෙන දැවෙනා නිවසකට කියා දැන සිටියත් නිමල්සිරිගේ හිතට ඒ මොහොතේ ලංකාවේ සිටින බිරිඳ හෝ දරුවන් ගැනවත් සිහියට ආවේ නැත. ඔහුගේ සිත පුරවා ඒ මොහොතේ සිටියේ ගින්දරට මැදිව සිටින වියපත් කොරියන් කාන්තාව පමණි. ගෙදර අයිතිකාරියත් සමග ගෙතුළට ගිය ද ඉන්පසු ඒ කාන්තාව ඔහුට නෙත ගැටුණේ නැත. ඒ ඇයව දුමට වැසීගිය නිසාය. ඒ අතරේ නිවසේ වහලෙන් පිච්චෙන කොටස් බිම තැනින් තැනට වැටෙන්නට ගත්තේය. මහලු කාන්තාව කාමරයක දොරට ගසමින් කෑ ගසනු නිමල්සිරිට ඇසුණෙන් ඒ හඬ ඔස්සේ ගේ තුළට ගොස් ඔහු කාමරය සොයාගත්තේය. වාසනාවට දොර පිටතින් යතුරු ලා තිබුණේ නැත. ඔහු දොර ඇරියේ ඉක්මනින්ම මහලු කාන්තාව ගෙන නිවසෙන් පිටතට යන්නටය. " මං හිතේ මවාගෙන හිටියෙ ඇඟ පතින් පුංචි අත්තම්මා කෙනෙක්. ඒත් මෙයා සිරුරෙන් විශාල කෙනෙක් ඒත් ඉතින් කොහොමහරි එළියට අරන් එන්න ඕනනේ. මෙයා දුම ,ගින්දර වදින්නෙ නැතිවෙන්න මුළු ඇඟම ජැකට්වලින් වහගෙන හිටියෙ. මට හිත හිතා ඉන්න වෙලාවක් නෑ. මටත් හුස්ම ගන්න බැරි තරමට ගේ දුම පිරිලා. ඒ අතරෙ ඇවිළි ඇවිළී වහලෙ කොටස් කඩා වැටෙනවා.මම අමාරුවෙන් වුණත් ඒ අත්තම්මා මගේ කරට දාගත්තා. වයස අනූවක් වුණාට හරි බරයි. මට අඩිය තියන්නත් බෑ. ඇදගෙනම වගේ අරගෙන එළියට යන්න ආවත් මට දොරක් කියන කිසි දෙයක් පේන්නෙ නෑ. කළුපාට දුම මැදින් අත දාලා අල්ලන අල්ලන තැන අහුවෙන්නෙ බිත්තිය. වහලෙන් සිවිලිමේ කෑල්ලක් වැටුණා ඔළුවට. මට ඔළුවෙ තොප්පිය මතක් වෙනකොටත් තොප්පියට ගින්දර ඇවිළිලා ඉවරයි. ඉක්මනටම තොප්පිය ගලවලා විසිකළත් මට දැනුණා ඒ වෙනකොටත් මගෙ මූණ අත් පිච්ව්ලා කියලා. කකුල්. බේරිලා තිබුණා සීතලට දාන සපත්තු දාලා හිටපු හින්දා. එන්න එන්නම මට හුස්ම ගන්න අමාරු වුණා. දොර හොයාගන්න බැරුව කොටු වෙද්දී මට හිතුණා ආයෙනම් එළියට යන්න වෙන්නෙ නෑ කියලා. ඒත් එක්කම අන්තිම වරටත් අමාරුවෙන් අත තිබ්බා දොර හොයන්න. වාසනාවට මම අත තියලා තිබුණෙ දොර ළඟ. ඉක්මනටම මං එළියට ගියා. අත්තම්මත් එක්කම බිම ඇදගෙන වැටුණා විතරයි මට මතක.." ඒ එදා නිමල්සිරි නොදන්නා දේශයක නොදන්නා මිනිසුන් වෙනුවෙන් කළ ජීවිතයත් මරණයත් අතරේ වූ බිහිසුණු වීර ක්‍රියාවේ ඔහු ළඟ ඇති මතකයයි. ඔහු වතුර ඉල්ලුවෙන් කවුරුන් හෝ වතුර වීදුරුවක් දිගු කළේය. වතුර උගුරක් බොන්නට කටට ගත්‍ත ද ගිලුනේ නැත. කාබන්වලින් ඔහුගේ මුළු උගුරම වැසී තිබුණි. වතුර උගුර කළුම කළුපාටට ඔහු පිටතට දැම්මේය. වහා ඔහුව රෝහල් ගත කෙරුණේ නිමල්සිරිගේ තත්ත්වය අමාරු බව කාටත් තේරුම් ගිය නිසාය. ඒ වෙලාවේ ඔහුට නොපෙනුණත් ඔහු සේවය කළ ඇපල්වත්තේ හිමිකරු ද එහි පැමිණ ඔහුව රෝහලට ගෙනයන්න මුල් වී ක්‍රියා කළේය. තේගු හි ආසන්නම රෝහල වූ සෙන්චෝන් වෙත ඔහු ගෙනගියද එතැනින් භාර ගැනීම ප්‍රතික්ෂේප වූයේ ඔහුගේ තත්ත්වය බරපතළකම නිසාය. " මට ඒ වෙනකොට හුස්ම ගන්න අමාරුයි, නහයෙ උගුරෙ කාබන් බැඳිලා. මාව ඇම්බියුලන්ස් එකේ මැෂින්වලට ගහලා හිටියෙ. ඊටපස්සෙ මාව වෙනත් රෝහලකට ගෙනිහින් තිබුණා. ඒ කිසි දෙයක් මම දන්නෙ නෑ. මම දවස් 5ක් සිහිය නැතුව දැඩි සත්කාර ඒකකයෙ ඉඳලා. මාව ජීවත්කරවන්න පුළුවන්වෙයිද කියලා ඒ අයත් සැකෙන් ඉඳලා තියෙන්නෙ. පෙනහලුවල බැඳුණු කාබන්, බට දාලා ඇදලා. දවස් ගාණක් උගුර තුවාලවෙලා තිබ්බා. කතා කළාට වචන පිටවෙන්නෑ නැගිටින්න කකුල් පණ නෑ. දවස් 5 කට පස්සෙ සාමාන්‍ය වාට්ටුවට දැම්මා. ඒකෙ දවස් 25 ක් හිටියා. රෝහල් බිල ලක්ෂ 18 ක් වෙලා තිබුණා. ඒකෙන් ලක්ෂ හයක් ගිනි ගත්ත ගෙදර අයිතිකරුයි ඇපල්වත්තෙ හිමිකරුයි ගෙවලා තිබුණා. මට ලක්ෂ 13ක් ගෙවන්න තිබ්බා. සාමාන්‍යයෙන් මේ රටේ වීසා නැති කෙනෙක් ඔය වගේ රෝහලට දාන්නෙ නෑ කවුරුත්. ඒත් මං වාසනාවන්ත වුණා, මට සිහිය ආවම හැමෝම ඇහුවේ ඇයි වීසාත් නැතුව එහෙම කරන්න ගියෙ කියලා. මං කිව්වේ ඒවා හිත හිත හිටියානම් ඒ අත්තම්මගෙ ජීවිතේ නැතිවෙනවා. ඔය වගේ දෙයක් දැක දැක අපිට අහක බලාගන්න බෑ කියලා..." හරි සුවයක් නැතත් ඉතිරි රෝහල් බිල ගෙවන පොරොන්දුව පිට රෝහලෙන් නිදහස් කළ නිමල්සිරි යළිත් තේගු ශ්‍රී ලංකා රාමයට ගියේය. ඒ වන විට කොරියාවේ මාධ්‍යවලින් නිමල්සිරිගේ වීර ක්‍රියාව පිළිබඳ රටම දැනුවත් කර තිබුණි. ඒ නිසා නිමල්සිරිගේ නමට කොරියාවේ ලොකු පිළිගැනීමක් නිර්මාණය වී තිබුණි. " මගෙ මූණ අත පිච්චිලා තිබුණා. ඒත් ඒ ගැන හිතුවෙ නෑ. ඒ අත්තම්මා ජීවත්වෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒක ලොකු සතුටක් වුණා. පස්සෙ දවසක එයාව මට හම්බවුණා. පන්සලේ විජිතවංශ අපෙ හාමුදුරුවොයි නීති කටයුතු කරන අයයි, ඇපල් වත්තේ හිමිකරුයි මේ නිමල්ට උදව් කරන්න ඕන කියලා කිව්වා. ඇත්තටම එහෙම වුණා. ඒ රටේ රජයේ ආයතනයකින් ඊට පස්සෙ මගේ රෝහල් බිල ගෙවලා තිබුණා. ඒ වගේම ඒ අය මැදිහත්වෙලා මට ජීවාන් වීසා එකත් හදලා දුන්නා. ජීවාන් වීසා දෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබන අයට. මට ඒක ලැබුණා. ඉදිරි අවුරුද්දක වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන්. ඒ අතරේ වසරකට ඒ රටෙන් විදේශිකයන් 10 දෙනකුට ලබා දෙන වීසන්ජා සහතිකයත් මේ අයගේ මහන්සියේ ප්‍රතිඵලයක් හැටියට ගිය අවුරුද්දෙ මට ලැබුණා.ඒක හරි වටින එකක්. එල්.ජී කොම්පැනියෙන් ගිය අවුරුද්දෙ අප්‍රේල් 27 වැනිදා මට මුදල් ත්‍යාගයක් දුන්නා විදේශිකයකු වීත් මා කළ ක්‍රියාව අගය කරලා. ටිකක් කල් යද්දි ටික ටික වැඩ කළා. ඇපල්වත්තෙ වැඩ තියෙනකොට යනවා.පන්සලෙන් ආයෙ වෙන නවාතැනකට ගියත් පන්සලටත් නිතර ආවා,ගියා. ඔය විදිහට අවුරුදු එකහමාරක් කොරියාවේ හිටියා. ජීවාන් වීසා එක අලුත් කරන්න තානාපති කාර්යාලයට ගියා. ඒ වෙලාවෙ කිව්වා වීසා එක මාරු කරන්න බලන්න කියල. තේගු ආගමන විගනන කාර්යාලයෙනුත් කිව්වා මට වීසා එක මාරු කරන්න පුළුවන් කියලා. ඊට පස්සෙ මට කතා කරලා කිව්වා ෆොටෝ සහ සල්ලි ගේන්න කියලා. එ්වා බාරදුන්නම 18 වැනිදා වෙනතුරු ඉන්න කිව්වා." ඒ වැඩ කටයුතු එසේ වද්දී ලොව පුරා සමාජ ජාලාවල වේගයෙන් හුවමාරුවුණ වීඩියෝ දසුනක් ඒ දිනවල කොරියාවෙත් ජනප්‍රිය වුණා. ඒ ප්‍රංශයේ තට්ටු තුනකින් පහළට වැටෙන්නට ගිය දරුවෙක් වැටෙන්න පෙර බිත්තිවලින් ඉහළ නැග අල්ලා ගන්නා තරුණයෙකුගේ වීඩියෝවකි. ඔහුට ඒ වීර ක්‍රියාවට එරට පුරවැසිකම දී තිබුණ. එය බැලූ කොරියාවේ මාධ්‍ය වලින් නැවත නිමල්සිරිගේ කතාව මතක් කර ඔහුටත් පුරවැසිභාවය දෙමු කියන මතය හැදීය. කෙසේ නමුත් රජය නිමල්සිරි කෙරෙහී පැහැදී තිබුණි. ඔවුන් ඔහුට ඒ රටේ අධිකරණය හරහා නීති පවා වෙනස් කර ස්ථිර පදිංචිය සහිත පුරවැසිභාවය දුන්හ. "කොරියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ගිය 18 වැනිදා පුරවැසිභාවය ලද බව සනාථ කෙරෙන සහතිකය ලබාදුන්නා. උදව්වක් කරන්න ඕන තැන අපි අහක බලන්න හොඳ නෑ. උදව් කරන්න ඕන. හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවාමයි." කිසිවක්ම නොමැතිව කොරියාවේ සිටි නිමල්සිරිට දැන් සියල්ල ලැබී තිබේ. ඒ කොරියාවේ ඉහළ පිළිගැනීමකුත් සමගය. දැන් ඔහුගේ එකම බලාපොරොත්තුව හැකි ඉක්මනින් ලංකාවට ඇවිත් යන්නටය. ඒ අසනීපව සිටින තාත්තා බලන්නටත් දෑස වන් දරු දෙදෙනා හා සෙනෙහෙබර බිරිඳගේ කැදැල්ලේ මොහොතක් හිත සතුටින් ගෙවා යන්නත් එක්කය.   ඒ වෙලේ මට ලොකු කම්පණයක් ඇතිවුණා - ජීවනී පුෂ්පමාලා නිමල්සිරිගේ බිරිඳ මේ සිද්ධිය වුණ දවසෙ මම එයාට දිගටම කෝල් ගත්තට කතා කළේ නෑ. එහෙම කවදාවත් වෙලා නෑ. ඒත් එක වෙලාවකදි මගෙ කෝල් එකට කතා කළා. එයා කිව්වේ 'මං මේ හොස්පිට්ල් එකට යනගමන්' කියලා. එච්චරමයි. ඊට පස්සෙ දවස් අටක් එක දිගට මං ඒ ෆෝන් එකට කතා කළා. කිසිම තොරතුරක් නෑ. ඒ දවස් ටික මං මැරි මැරී ජීවත්වුණේ. අන්තිමට මං එහෙ ඉඳලා ලංකාවට ඇවිත් හිටපු එයාගෙ යාළුවෙක් හොයාගෙන ගියා. ඒ ගිහින් විස්තරේ කිව්වම ඒ යාළුවා මෙයා වැඩ කරපු තැන හිමිකරුට කතා කරලා අහලා තිබුණා. ඊටපස්සෙ තමයි මට සිද්ධිය දැනගන්න ලැබුණේ. ඒත් එයාගෙ කටහඬ අහනකල් මගෙ හිතේ ගින්න නිවුණෙ නෑ. ඒ යාළුවගෙ උදව්වෙන් එහෙ යාළුවන්ට කතා කරලා මෙයාව බලන්න යනකොට වීඩියෝ දාලා මට පෙන්නනවා. එයාට දවස් 15 ක් 20 ක් යනකල් කතාකරන්න බැරි වුණා. බට දාලා තිබිලා උගුර තුවාල වෙලා. ඊට පස්සෙ ටික ටික කතා කරනකොට මගෙ හිතට හරි ගියෙ. ඒත් ඉතින් ඔහොම ලෙඩවෙලා ඉන්නැද්දි ළඟක ඉන්න තිබුණා නම් කියලා අනන්තවාරයක් හිතුණා. කොහොමත් එයා මෙහෙදිත් ඔහොම තමයි. උදව්වක් කරන්න ඕන වෙලාවක කවදාවත් මග ඇරලා යන්නෙ නැති කෙනෙක්. එයා සුවවෙන්න සෑහෙන කාලයක් ගියා. එතෙක් රස්සාවක් කළේ නෑ. ඒ කාලේ ගෙදරට සල්ලි එවන්නෙ නැති නිසා ආර්ථික අපහසුතාත් ගොඩක් දැනුණා. පවුලෙ අය මට උදව් කළා. හොඳ දෙයක් කළොත් අපිට ඒකෙ හොඳ ලැබෙනවා කියන කතාව ඇත්ත. එයා එහෙ හිටියෙ වීසා නැතුව අහුවෙයි කියලා බයෙන්. ඒත් එයා  කරදරේ වැටුණ වෙලේ වීසා නැති මනුස්සයෙක් කියලා මැරෙන්න ඇරලා හිටියෙ නෑ . ඒ රටේ මිනිස්සු  එයාට පිහිටවෙලා තියෙනවා. ඊළඟට ලක්ෂ ගානක රෝහල් බිල ඒ අය ගෙවලා තියෙනවා. අන්තිමට සිද්ධියෙන් අවුරුදු එකහමාරකට පස්සෙ හරි එයාව අගය කරලා කොරියාවෙ පුරවැසිභාවය දෙනවා. එයාගෙ පැත්තෙන් කරපු යුතුකමට කොරියාව එයාට යුතුකම් ඉටුකරලා. හැබැයි ඒ හැමෝම එයාට ලැබුණෙ ලංකාරාමයේ විජිත හාමුදුරුවෝ, නීති කාරණා කරන අය, ඇපල්වත්තෙ අයිතිකාර මහත්තයා ඇතුළු දන්නා කියන අයගෙ උදව්වලි සහ ආශිර්වාදයෙන් ඒ වෙලාවෙ මට ලොකු දුකක් කම්පනයක් ඇතිවුණත් ඒ සිද්ධිය අහලා. අද තියෙන්නෙ සතුටක්. මම, දරුවො, තාත්තා හැමෝම අමතක කරලා එයා මේ වැඩේ කරන්න ඒ හිත මොනතරම් කරුණාවන්ත ද..?, ඒ අම්මා. ජීවතුන් අතර කියලා දැනගත්තම මට ලොකු සතුටක් ඇතිවුණා. බියංකා නානායක්කාර   
 

More News..