brand logo

කොමිසමට ගිය ආණ්ඩුව

02 February 2019

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පාලනය සිදුවන්නේ ප්‍රධාන ආයතන තුනකිනි. ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය එම ආයතන තුනයි. විධායක බලය ජනාධිපති මගින්ද ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ද අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය මගින්ද ක්‍රියාත්මක වෙයි. පරිපාලන පහසුව මෙන්ම බලය බෙදා හැරීමේ සංකල්පය ද පෙරදැරිව ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ බලතල පළාත් සභා සහ පළාත් පාලන ආයතන වෙත විමධ්‍යගත කරන්නට යෙදී ඇත. ඉහතින් සඳහන් ආයතනයන්ගෙන් ජනතා ඡන්දයෙන් නියෝජිතයන් පත්කරනු ලබන ආයතන වූ පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත්පාලන ආයතන සඳහා වර්තමානයේ පිළිවෙළින් 225, 455, 7654, බැගින් නියෝජිතයන් පත්කරනු ලැබ සිටින අතර ඒ අනුව වත්මන් ශ්‍රී ලංකාවේ ජනතා නියෝජිත ගහනය 8314කි. අති විශාල ප්‍රමාණයේ වැටුප්, වාහන බලපත්‍ර, දුරකතන සහ නිවාස දීමනා ප්‍රවාහන වියදම් සහ කාර්යාල දීමනා අාදී දීමනා සහිතව නඩත්තු කරනු ලබන මෙම සුවිශේෂි ගහනය සඳහා මෙරට ජනතාවට වසරකට දරන්නට සිදු වී ඇති පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනකි. ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4065 ක් ලෙස 2017 වසර සඳහා වූ මහ බැංකු වාර්තාවේ සඳහන් වුවත්, ඇති නැති පරතරය අහසට පොළව මෙන් වූ බැවින් ද අහසේ සිටින්නේ මුළු ජනගහනයෙන් 10% කටත් වඩා අඩු ප්‍රතිශතයක් බැවින් ද මෙරට බහුතර ජනයාගේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1000කටත් අඩු බව නොරහසකි. නමුත් මෙරට ජනගහනයෙන් සෑම 2452 දෙනකුටම එක් ජනතා නියෝජිතයෙක් සිටින බවත් එම නියෝජිතයා නඩත්තු කිරීමට ජනතාවට තමන්ට ඔරොත්තු නොදෙන පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත් සඳහන් කිරීමට සිදුවීම කනගාටුදායකය. ජනතා නියෝජිතයන්ගේ සංඛ්‍යාත්මක තත්ත්වය එසේ වුවත් මෙරටේ වෛද්‍යවරුන් සිටින්නේ මිනිසුන් 10000කට පමණ එක් වෛද්‍ය වරයකු වීමද බරපතළකම මොනවට පෙන්නුම් කරයි. මෙවැනි අති විශාල ආර්ථික පිරිවැයක් දරමින් මේ සා විශාල ප්‍රමාණයක් ජනතා නියෝජිතයන් තමන් විසින්ම පත්කර තමන් විසින්ම නඩත්තු කරලීමට ජනතාවට සිදුව ඇති අතර මේ නියෝජිතයින් අවම වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව රටේ පාලනයට අදාළ සියලු කටයුතු ජනතාවට ඉටුකර දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතී. කොටින්ම කියතොත් රටේ සියලු පාලන කටයුතු ව්‍යවස්ථාවේ නිර්ණායකයන්ට අනුකූලව ජනතා නියෝජිතයන් විසින් සිදුකරනු ඇතැයි යන විශ්වාසයත්, එය එසේ සිදුනොවුණහොත් ඊළඟ මැතිවරණයේදී ඊට පිළිතුරු දෙන්නට ජනතාවට හැකියාව තිබේ. කෙසේ වෙතත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටක් ලෙස ඉහතින් සඳහන් කළ පරිදි ජනතා නියෝජිතයෙක් පත් කර ඇති වුවත් කනගාටුවට කාරණාව වන්නේ වර්තමානයේ මෙරට සියලුම පරිපාලන කටයුතු පාහේ ස්වාධීන කොමිෂන් සභා හරහා සිදු කිරීමට සිදුව තිබීමය. එමෙන්ම එම ස්වාධීන කොමිෂන් සභා පත්කරනු ලැබීමටද වෙනම ව්‍යවස්ථා සභාවක් ස්ථාපනය කරනු ලැබ ඇත. ඒ අනුව වර්තමානයේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමානිර්ණ කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම ද ඇතුළුව ව්‍යවස්ථා සභාව විසින් ස්ථාපිත කරන ලද කොමිෂන් සභා නවයක් වෙයි. අති විශාල ජනතා නියෝජිතයන් සංඛ්‍යාවකින් සමන්විත පාලන ව්‍යුහයක්ද මනාව ස්ථාපිත අධිකරණ පද්ධතියක් ද ඊට අමතරව අංගසම්පූර්ණ රාජ්‍ය සේවාවක්ද පවතින රටක මේ සියල්ලට අමතරව ව්‍යවස්ථා සභාවක් සහ ඊට අනුබද්ධිත කොමිෂන් සභා ගණනාවක් ඇති කිරීම මගින් අත්පත් කරගැනීමට අපේක්ෂිත ස්වාධීනතාවය සැබැවින්ම ඉටුවෙනවාදැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. ඉහත කී සියලුම කොමිෂන් සභා පත්කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාව මගිනි. ව්‍යවස්ථා සභාව යනු දේශපාලකයන්ගෙන් සහ දේශපාලකයන්ගේ මනාපය පරිදි තෝරාගනු ලැබූ පුද්ගලයන්ගෙන් සැදුම් ලත් සභාවකි. එබැවින් එහි ස්වාධීනතාවය ගැටලු සහගතය. එමෙන්ම උක්ත සභාවේ සංයුතිය නිර්ණය කිරීමේ ක්‍රමවේදය අනුව සෑම විටම එහි බහුතර බලය හිමි වන්නේ ආණ්ඩු පක්ෂයටය. එබැවින් ව්‍යවස්ථා සභාවට සෑම විටම ආණ්ඩු පක්ෂයේ මතය නියෝජනය කිරීමට සිදුවනු ඇත. එහෙයින් ඒ හරහා ඇතිකරනු ලබන අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනතාවය ගැටලු සහගත වේ. එමෙන්ම මෙම ව්‍යවස්ථා සභාව මගින් පත්වීම් ලැබිය යුතු පොලිස්පතිවරයා, අග්‍රවිනිශ්චයකාරවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, නීතිපතිවරයා විගණකාධිපතිවරයා ආදී රජයේ තීරණාත්මක තනතුරුවලට කිසියම් දේශපාලන පක්ෂයකට ගැති පුද්ගලයන් අදාළ පක්ෂයේ අනුග්‍රහය යටතේ පත්වීමේ අවදානමක්ද පවතී. අනෙක් වැදගත්ම කරුණ නම් ඉහත කී තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී දහනවවන සංශෝධනය මගින් ව්‍යවස්ථා සභාවට ප්‍රමාණවත් නිර්ණායකයන් ලබාදී නොතිබීමයි. මෙහිදී තනතුරකට කිසියම් පුද්ගලයෙකු පත්කිරීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ හුදු ව්‍යවස්ථා සභාවේ බහුතර කැමැත්තයි. එහිදී අදාළ පුද්ගලයාගේ ජ්‍යෙෂ්ඨත්වය, සුවිශේෂි වෘත්තීය කුසලතා, අධ්‍යාපන සුදුසුකම් ආදිය තරගකාරී ඇගයීමකට ලක්කිරීමක් සිදු නොවීමද එම තනතුරු හොබවන්නන් දේශපාලන පක්ෂග්‍රාහීත්වයට නතුකර ගැනීමට දරන ලද උත්සාහයක් ලෙස පෙනෙන්නට තිබේ. ඉහත කී කොමිෂන් සභා අතරින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව හැරුණුකොට අනෙක් සියලුම කොමිෂන් සභාවල ක්‍රියාවක් හෝ තීරණයක් නිසා අගතියට පත් වූ පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126/1 වන ව්‍යවස්ථාව අනුව පළමුවෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් පසු පමණක් අධිකරණ ක්‍රියාමාර්ගවලට යා හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126/2 හි සඳහන් වේ. එමෙන්ම දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 153 වූ ව්‍යවස්ථාව මහින්ද යමෙකුට 59 වැනි ව්‍යවස්ථාව යටතේ පිහිටුවනු ලැබ ඇති ‘‘පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය’’ වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවද ඇත. නමුත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ තත්ත්වය මීට වෙනස් වේ. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සම්බන්ධයෙන් බලපවත්වන්නේ දහ නවවන ව්‍යවස්ථා සංශෝධනයේ 156/ඊ/2 ව්‍යවස්ථාව වේ. ‘‘කොමිෂන් සභාවේ සියලු සාමාජිකයන් සහ නිලධරයන් දණ්ඩ නීති සංග්‍රහයේ IX වැනි පරිච්ඡේදයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුත්තේය’’ ලෙස සඳහන් වන අතර 156/ඊ/3 ව්‍යවස්ථාවේ කාර්යය. ‘‘කොමිෂන් සභාවේ යම් සාමාජිකයකු හෝ නිලධාරයෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුගේ කාර්ය හෝ කර්තව්‍ය ඉටුකිරීමේ දී සද්භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි උද්දේශිත යම් ක්‍රියාවක් හෝ දෙයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු සිවිල් හෝ අපරාධ නඩුවක් හෝ නඩු කටයුත්තක් හෝ වෙනත් කෘත්‍යයක් පැවරිය නොහැක්කේය ලෙස සඳහන් වේ.’’ එමෙන්ම දහ නවවැනි සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරමින් 47 ට ව්‍යවස්ථාව යටතේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයින් රාජ්‍ය සේවක තත්ත්වයෙන් ඉවත් කරනු ලැබ ඇත. මෙ නයින් බලන කල ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයකුගේ යම් ක්‍රියාවකට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156/ඊ/2 ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති ප්‍රතිපාදන වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම 156/ඊ/3 සහ 47/ ය අනු ව්‍යවස්ථා බාධාවක් වී ඇති දෙයක් පෙන්නුම් කරයි. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ කර්තවයන් ලෙස රජයේ ටෙන්ඩර් ප්‍රතිපත්ති සැකසීම සහ වාර්තා කිරීම ලංසුකරුවන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම අනුකමිටු සහ තාක්ෂණික කමිටුවල සාමාජිකයන්ගේ සුදුසුකම් පිළිබඳ වාර්තා කිරීම ආදිය සඳහන් කළ හැක. කෙසේ වෙතත් කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාව සිදුවූ අවස්ථාවේ ප්‍රසම්පාදන කොමිසම පැවැතියේ නම් එහි වගකීම සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ව්‍යවස්ථාමය තාක්ෂණික ගැටලු නිර්මාණය විය හැකිව තිබිණි. මේ කොමිෂන් සභාවල සාමාජිකයන් ජනතාවට වගකිවයුතු නොවේ. එමෙන්ම ඔවුන්ගේ අධිකරණයට වග කිවයුතු බවටද විවිධ බාධක පනවා තිබේ. එනයින් බලන කල මොවුන් වගකිව යුතු වන්නේ තමන් පත්කරන ලද තම ස්වාමිවරුන් වූ දේශපාලකයන් හට පමණි. අනෙක් අතට වැටුප්, විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද ලබා ගනිමින් ජනතා මුදලින් නඩත්තු වන ජනතා නියෝජිතයන් රටට ඔරොත්තු නොදෙන තත්ත්වයක මෙම කොමිෂන් සභා නියෝජිතයන්ට මැති ඇමතිවරුන් හට සමාන වැටුප් හා දීමනා ලබාදෙනු ලැබේ. එක් අතකින් ජනතා නියෝජිතයන් නඩත්තුව සඳහා රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් වෙන්කිරීමට සිදුව ඇති අතරම අනෙක් අතින් ජනතා නියෝජිතයන්ගේ දේශපාලනික අවශ්‍යතාවන්ට අනුකූලව පත්කරන ලද ස්වාධීන කොමිෂන් සභා සාමාජික සුපිරි පැලැන්තිය නඩත්තු කිරීමට ද ජනතාවට ඊටත් වඩා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම ඛේදවාචකයකි. මේ අනුව දේශපාලකයින් තම වගකීම් පැහැර හරිමින් බළලුන් ලවා කොස්ඇට බාවමින් එම බළලුන්ටද ජනතා මුදලින් සුරසැප විඳීමට සැලැස්වීමේ තත්ත්වයක් උදාවී ඇත. එබැවින් සුදු අලියෙකු වන් යන කොමිෂන් සභාව පිළිබඳ දෙවරක් සිතිය යුතු කාලය එළඹ තිබේ. දශක ගණනාවක් පුරා දේශපාලකයන් විසින් මෙරට අාර්ථිකයට සිදුකර ඇති හානිය මේ වන විට එහි උච්චතම අවස්ථාව කරා ළඟා වී ඇත. එහි සෘජු ප්‍රතිඵලය ලෙස රටේ සිංහල දෙමළ මුස්ලිම් ආදී සමස්ත ජනතාවට ජීවත්වීමේ ගැටලුව ඇතුළු ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ. එම ගැටලු ඊනියා ජාතික ගැටලුවක් ලෙස හුවා දක්වමින් තව දුරටත් බලය බෙදීම, පෙඩරල් රාජ්‍ය, බෞද්ධාගමට මුල්තැන ආදී බේගල් ඇදබාමින් තම තමන්ගේ වාසියට රටේ උත්තරීතර ලියවිල්ල වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘති කිරීමෙන් වැළකී වත්මන් ආර්ථික තත්ත්වයට අනුකූල වූ මනා පිළිවෙළකින් සහ ඒකාග්‍රතාවයකින් ව්‍යවස්ථාවක් සැකසීමට කටයුතු කරන්නේ නම් එය ජන මත විචාරණයකින් වුව සම්මත කරගැනීම අසීරු නොවනු ඇත. බන්ධුල සුබසිංහ.
 

More News..