brand logo

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු WhatsApp බැංකුකරණ පහසුකම හඳුන්වා දෙයි

17 January 2021

පණිවුඩ යැවීම සඳහා ලෝකයේ වැඩිපුරම භාවිතා කරන ඇප් සේවාවක් වන WhatsApp හරහා බැංකු සේවා ලබාදෙන ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව තවත් පුරෝගාමී පියවරක් තබා තිබේ. මෙහිදී, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අයට ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව බැංකු සේවා ලබාගත හැකි පරිදි මෙම පහසුකම නිර්මාණය කර තිබෙන අතර බැංකුවේ ගිණුම් හිමියන්ට සහ අලුතෙන් ගිණුම් විවෘත කිරීමට බලාපොරොත්තු වන අයට මේ තුළින් සේවා ලබාගත හැකි වේ. මෙම සේවාව මගින් බැංකුවේ ගිණුමක් විවෘත කරමින් ගනුදෙනුකරුවෙකු වීමට බලාපොරොත්තු වන අයට එම කටයුත්ත ඉටු කිරීමටත් මෙම පහසුකම භාවිතා කළ හැකි බව බැංකුව සඳහන් කරයි. මේ අනුව කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට 0713 353 353 අංකයට සරල පණිවුඩයක් එවීම මගින් මෙම සේවාව භාවිත කළ හැකි වේ. මෙම සේවාව මගින් ගනුදෙනුකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට අනුගමනය කළ යුතු සරල පියවර කිහිපයක් බැංකුව විසින් දැනුම් දෙන අතර ගනුදෙනුකරුවාටම වෙන්කළ රහස් අංකය කෙටි පණිවුඩයක් මගින් ලබාදීමෙන් පසුව අවශ්‍ය තොරතුරු ගනුදෙනුකරුවාට ලබාදීමට බැංකුව කටයුතු කරනු ඇත. මෙහිදී සංවේදී දත්ත ගනුදෙනුකරුවාට ලබාදීමට පෙර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එක් වරක් පමණක් ලියාපදිංචි කිරීම කරමින් ගනුදෙනුකරුවා හඳුනාගැනීම බැංකුව විසින් සිදුකරයි. මෙමගින් කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියන්ට බැංකු සේවා මාලාවක් ලබාගත හැකි වේ. මේවා අතරට ගිණුමේ ශේෂය පරීක්ෂා කර ගැනීම, ගිණුමේ ඉතිහාසය බලාගැනීම, චෙක් පොතක් ඉල්ලා සිටීම, ගනුදෙනුකරුවන්ට සහ ගනුදෙනුකරුවන් නොවන අයට ස්ථාවර තැන්පතු පොලී අනුපාත සහ විදේශ විනිමය අනුපාත ලබාගැනීම, කොම්බෑන්ක් ඩිජිටල් ඇප් සේවාවේ ස්වයංව ලියාපදිංචි වීම හෝ ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම ඔස්සේ නව ගිණුමක් විවෘත කිරීම ඇතුළත් වේ. ‘ලෝකය පුරා බිලියන දෙකකට වැඩි ජනතාවක් පණිවුඩ යැවීම සඳහා WhatsApp භාවිත කරනවා. ශ්‍රී ලංකාව තුළ මිලියන 6.5 කට වැඩි ජනතාවක් සමාජ මාධ්‍ය භාවිතා කරනවා යැයි ඇස්තමේන්තු කර තිබෙනවා,’ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගතයුතු මේ අවස්ථාවේ බැංකු සේවා පුළුල් කිරීමේදී මේ ආකාරයේ වඩාත්ම ජනප්‍රිය පණිවුඩ යැවීමේ සේවාවක් වන WhatsApp සේවාව මෙරට මිලියන ගණනක ජනතාවක් භාවිතා කරන නිසා ඒ හරහා බැංකුකරණය සඳහා ගනුදෙනුකරුවාට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.’ මෙම සේවාව හඳුන්වා දීමත් සමග මූලික බැංකු කටයුත්තක් සිදුකර ගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකු ශාඛාවකට පැමිණිය යුතු නැති බව බැංකුව සඳහන් කරයි. WhatsApp බැංකුකරණය තුළින් ඩිජිටල් බැංකු සේවාවලට අවතීර්ණ වීමට කැමති ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට බැංකුවට හැකිවන බව ද බැංකුව පවසයි. ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 880 ක් පවත්වාගෙන යයි.
 

More News..