brand logo

කොමර්ෂල් බැංකුවේ ජංගම මුදල් සේවාව 650කට අධික ස්ථානවල ගනුදෙනුකරුවන්ට සේවා සපයයි

11 May 2020

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සීමා වී සිටින කොමර්ෂල් බැංකුවේ ගිණුම්හිමියන්ට ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ නිවෙස් අසලටම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක කොමර්ෂල් බැංකුව මේ වන විට යොදවා තිබේ. මෙම ජංගම මුදල් සේවා ඒකක විවිධ මාර්ග 119 ඔස්සේ ගමන් කරමින් සති තුනක් තුළ ස්ථාන 672 ක් ආවරණය කරමින් ඇඳිරි නීතිය නිසා බැංකු කටයුතු සඳහා බැහැරට යාමට නොහැකි ගනුදෙනුකරුවන් වෙනුවෙන් සේවා ලබාදුන් බව බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වාර්තා කරන්නේ මෙම කාල සීමාව තුළදී මෙම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක ගනුදෙනු 6000 කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන බවයි. මේ තුළින් සිය නිවෙස් වලටම වී සිටින ගනුදෙනුකරුවන්ට රජය විසින් නිවේදනය කර තිබෙන ආරක්ෂක ක්‍රියා මාර්ග අනුගමනය කරන අතරම මුදල් ආපසු ගැනීමට සහ මුදල් තැන්පත් කිරීමට මෙන්ම තම ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීමට අවස්ථාව හිමිවුණි. මෙම ජංගම ඒකක මගින් ගනුදෙනුකරුවන් රුපියල් මිලියන 100 කට වඩා වැඩි මුදල් ආපසු ලබාගත් බවත් මීට අමතරව ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවල එයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ලබාගත් බවයි. මේ අනුව, අප්‍රේල් 01 වැනිදා සිට 20 වැනිදා දක්වා කාල සීමාව තුළදී ජනතාවගේ බැංකු අවශ්‍යතාවයන් ඉටුකරමින් කොමර්ෂල් බැංකුවේ ජංගම බැංකු ඒකක වලින් රුපියල් මිලියන 103 කට වැඩි ප්‍රමාණයක් ගනුදෙනුකරුවන් ආපසු ලබාගෙන තිබෙන අතර මෙම කාල සීමාව තුළදී රුපියල් මිලියන 8.9 කට වැඩි තැන්පතු සිදුකර තිබේ. කොමර්ෂල් බැංකුවේ ‘Bank-on-Wheels’ ඒකක මගින් ඉතාමත් පහසුවෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් සහ පාස්පොත මගින් මුදල් ආපසු ලබාගත හැකි අතර බැංකු කවුළුවකින් කරන මූලික බැංකු ගනුදෙනු ද කළ හැකිවේ. මීට අමතරව, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ලබාදෙන සේවාවන් පමණක් ලබාදෙන ජංගම ඒකක ද කොමර්ෂල් බැංකුව විසින් මේ දිනවල සේවයේ යොදවා ඇත. මෙම ජංගම ඒකක වලට අමතරව, ගනුදෙනුකරුවන්ට සේවා ලබාදීම වෙනුවෙන් පොයින්ට් ඔෆ් සේල් යන්ත්‍රවලින් සමන්විත වාහනද යොදවා ඇත.
 

More News..