brand logo

කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු මියයයි

10 January 2019

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතෙන් ඉදි කෙරෙමින් තිබූ ‍ක්‍රිඩා මන්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු 09 දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගල්කිරියාගම බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි එල් .කේ .පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක නැමැති මෙවර අ පො ස සා පෙළ විභාගය සඳහා ඉගෙනීම් කටයුතු කරන විද්‍යාලයේ ක්‍රීඩා දක්ෂ දරුවකු බව එහි දෙමව්පියෝ කියති. පාසල් කාලයෙන් පසු අත්පන්දු ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව පාසලේ දරු දැරියන් පාසල් ක්‍රීඩාංගනයේදී පුහුණු වෙමින් සිටියදී ක්‍රීඩාංගණය ආසන්නයේ විදුහල්පතිවරයා විසින් ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපය ආසන්නයේ ගිමන් හරිමින් සිට ඇත . එම අවස්ථාවේ සිසුන් පිරිසක් එක්ව එම ක්‍රීඩාංගනය ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවකට හේතු වීමත් සමග එය මෙම සිසුවා ගේ හිස මතට කඩා වැටී ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. බරපතළ තත්ත්වයේ තුවාල ලැබූ පාසල් සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. පාසලේ සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීහු ගලේවෙල ප්රාදේශීය රෝහලේ දී නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරෙන්නටද විය. මෙවර 1වසර පන්ති සඳහා ළමුන් ඇතුලත් කිරීමේදී එම දරුවන්ගෙන් මුදල් අය කරමින් විදුහල්පතිවරයා විසින් මෙම විවේකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණු බවත් පුද්ගලික ආයතන වලින් ගෙන්වා තිබූ කොන්ක්‍රීට් කණු කිසිදු සවි කිරීමකින් තොරව ඉතා අනාරක්ෂිත ආකාරයෙන් ඉදි කිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ක්‍රීඩාංගණයට එක්වූ දෙමව්පියෝ චෝදනා කරන්නට වූහ. පාසැලේ දරුවෙක් මේ ආකාරයෙන් මිය ගොස් තිබුනද පස්වරුව වෙන තෙක්ම විදුහල්පතිවරයා පාසැලට හෝ රෝහලට නොපැමිණි බවද දෙමාපියෝ චෝදනා කරන්නට වූහ. එමෙන්ම එම ස්ථානයට රැස් වූ දෙමව්පියෝ ක්‍රීඩා මන්ඩප සවිකර තිබූ අනිත් කණු කීපයක් පෙරළා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ මෙම කොන්ක්‍රීට් කණු මහපොළොවට හෝ එහි අඩිතාලමට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ඉතා අනාරක්ෂිත ලෙස ඉදිකර තිබුණු ආකාරයයි. ගල්කිරියාගම පොලිසියේ නිලධාරීහු පාසලට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබු අතර දෙමාපියෝද පාසලේ නොසන්සුන් කාරී ලෙස හැසිරෙන්නට වුහ. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මාධ්‍ය ලේකම් වරයා කියා සිටියේ මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමත් සමඟම සොයා බැලූ බවත් මෙම පාසැලේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පළාත් සභාවට හෝ රේඛීය අමාත්‍යාංශයෙන් සිදුවූවක් නොවන බවය .විදුහල්පතිවරයා සහ පාසල් සංවර්ධන සමිතිය මගින් සිදු කරමින් තිබූ ඉදිකිරීමත් මේ ආකාරයෙන් අනාරක්ෂිත ලෙස පාසල් දරුවකුට ජීවිතක්ෂයට පත්වීමේ පුවත පිළිබඳව අමාත්‍යවරයා ද දැඩි කම්පාවට පත්වූ බව හෙතෙම සඳහන් කළේ ය. උතුරු මැද පලාත් නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා කියා සිටියේ වහා ක්‍රියාත්මක වන පරිදි මෙම මරණය සම්බන්ධයෙන් රීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ය. මෙම මරණය සහ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පාසල් සිසුන් සිද්ධිය ඇසින් දුටු සිසුසිසුවියන් ලබා දුන්නද වීද්‍යාලයේ කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු මේ සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි. දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
 

More News..