brand logo

කොතෙක් අඬගැහුවත් සජිත් තව නිහඬයි

28 November 2019

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් පක්ෂ නායකයන්ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසට මන්ත්‍රීවරයා හමුවීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වෙයි. කථානායකවරයා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර පෙරේදා (26 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමද අවලංගු වූයේ සජිත් ප්‍රේමදාසගේ නොපැමිණීම නිසාය. මෙම රැස්වීමට නොපැමිණීම පිළිබඳව කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සිය අසතුට පළ කළ බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් අවසානයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගැනීමට තමන් තීරණය කළ බව කථානායක කරු ජයසූරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළේය. තමන් එම තීරණයට එළැඹුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව බව කථානායකවරයා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරු 40ක් කථානායකවරයාට ලිපියක් යොමු කර තිබිණි. එම ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (26 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාව වර්ජනය කිරීම නිසා කථානායකවරයා දැඩි තීන්දුවක් ගැනීමටද නියමිතව ඇත. උදයජීව ඒකනායක
 

More News..