brand logo

කොත්තමල්ලි වෙනිවැල්ගැටත් හැමදාම හොඳ නෑ

18 February 2021

කොරෝනා වයිරසය ලොව පුරාම පැතිර යන මොහොතකදී කාගේත් අවධානය මේ වන විට යොමුව ඇත්තේ කොරෝනා මර්දන එන්නත පිළිබඳවය. එහෙත් එන්නත නිපදවීමට පෙර එනම් කොරෝනා පළමු රැල්ලේදීම අප එන්නත් නොමැතිවම රෝගය පාලනය කර ගත්තේ අපිට ආවේණික අපේම හෙළ වෙද ඔසුවලිනි. වයිරසයන්ට සාර්ථකව මුහුණ දිය හැක්කේ ශරීරයේ ප්‍රතිශක්තිය පවතින්නේ නම් පමණි. එසේ නම් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම අනිවාර්ය වන්නේය. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කළ හැකි ආහාර හා විවිධ ඖෂධීය පානයන් බොහෝමයක්ම ඇත්තේය. ආයුර්වේදයට අනුව එකම රසයෙන් යුතු ආහාරයක් හෝ ඖෂධයක් එකදිගට ගැනීම හේතුවෙන් ඒ රසයෙන් ජනිතවන පදාර්ථ ශරිරයේ වැඩි වී ශරීරය තුළ ඒ පදාර්ථවලට අනුව රෝගයක් හටගනී. හොඳම උදාහරණය වන්නේ මධුර රසයෙන් යුතු ආහාර දීර්ඝ කාලයක් ගැනීම හේතුවෙන් පුද්ගලයාගේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවී මධුමේහය නමැති රෝගය හටගනී. අපි එදා ඖෂධ ගුණයෙන් යුතු පානවර්ග විශාල සංඛ්‍යාවක් භාවිත කළෙමු. බෙලිමල්, ඉරමුසු, රණවරා, පොල්පලා, නීරමුල්ලිය ඇතුළු ඖෂධීය පානයන් දිනපතා නිවසේ තැම්බූ නමුත් ගෘහණිය එකම ඖෂධය දිනපතාම භාවිතයට නොගැනීමට වගබලා ගත්තාය. මෙහිදී එකම ඖෂධීය ගුණයෙන් යුතු පානයක් දිනපතා ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර නොවන බව ඇය දැන සිටියාය. දීර්ඝ කාලයක් එක දිගටම ඖෂධීය පානයන් ගැනීම සුදුසු නොවේ. කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියළි ඉඟුරු එකට දමා තම්බා බීමට මේ දිනවල බොහෝ දෙනෙකු පෙළඹී ඇත. මේ ඖෂධ ආයුර්වේදය තුළ රසායනික ඖෂධ කාණ්ඩයට අයත් වේ. වියළි ඉඟුරු හා කොත්තමල්ලි රසායනික ඖෂධ කාණ්ඩයට අයත් වේ. වෙනිවැල්ගැටවල අක්මාව ආරක්ෂා කිරීමේ, රුධිරය පිරිසුදු කිරීමේ හැකියාව පවතී. පිළිකා නාශක ගුණයද මෙහි පවතී. මෙය නිරෝගි පුද්ගලයකුට ගැනීමට සුදුසු පානයක් ලෙස ආයුර්වේදය තුළ සඳහන් වේ. මෙවැනි පානයන් වැඩි මාත්‍රාවෙන් නොගෙන දවසකට වේලක් දෙකක් බිව්වාට ගැටලුවක් නැත. අධික මාත්‍රාවෙන් දිගටම ගැනීම ගැටලු ඇතිකරයි. වෙනිවැල්ගැට, කොත්තමල්ලි පානයට අමතරව අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කළ හැකි ඖෂධ වර්ගයන් තවත් බොහෝමයක් තිබේ. ඒවා මාරුවෙන් මාරුවට ගැනීම සුදුසුය. ඖෂධ වෙළෙඳසල්වලින් විවිධ අරිෂ්ට වර්ගයන් ගෙන පානය කිරීමට ඇතැම් පුද්ගලයන් පුරුදු වී සිටීයි. මෙය කොතරම් දුරට හොඳ ද‍? වෙනිවැල්ගැට, කොත්තමල්ලි, ඉරමුසු, පොල්පලා, රණවරා වැනි පානයන් වෙළෙඳපොළෙන් මිලදී ගෙන සාමාන්‍ය පානයන් ලෙස සකසා භාවිත කිරීමට මිනිසුන් පුරුදු වී සිටියි. මෙය කිසියම් රෝගයක් මුල් කරගෙන ලබා දෙන පානයන් නොවේ. එහෙත් ඖෂධ ලෙස නිෂ්පාදනය කර තිබෙන අරිෂ්ට, ගුළි කල්ක, චූර්ණ වැනි දේ වෛද්‍ය නිර්දේශයකින් තොරව ස්වකැමැත්තෙන් මිලදී ගෙන පානය කිරීම ඉතාමත් අහිතකරය. මෙය තමන් විසින්ම මිලදී ගෙන වස පානය කරන්නා සේය. අධි මාත්‍රාවෙන් නොගත යුතු, ගන්නා වේලාව, කාලය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ගර්භණී කාන්තාවක්ද, කිරිදෙන මවක්ද, වෙනත් කාලීන රෝගයෙන් පෙළෙන අය, ඉන්ද්‍රිය දුර්වලතාවන්ගෙන් පෙළෙන පුද්ගලයෙක්ද යන වග සොයා බලා මේවා පානය කළ යුතුය. මෙම ඖෂධ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් රෝගයක් ඉලක්ක කර ගෙනම නිෂ්පාදනය කරන ඖෂධයන්ය. විවිධ ඖෂධ වර්ග යොදා ගනිමින් රස ගුණ විර්යය විපාක ප්‍රභාව යන කරුණු පිළිබඳව සැලකිලිමත් වී විවිධ සංයෝග කර මෙම ඖෂධ නිෂ්පාදනය කර ඇත. මෙය ලබාදීමේදී රෝගියාගේ රෝගය කුමක්ද? රෝගියාට ඖෂධය ඔරොත්තු දීමේ හැකියාව තිබේද? රෝගය පවතින තත්ත්වය කුමක්ද? අවදානම් පුද්ගලයෙක්ද නැද්ද? වැඩිහිටියෙක් නම් ඔහු හෝ ඇය කාලීන රෝගයකින් පෙළෙනවාද නැද්ද? යන්න සොයා බලා මෙම ඖෂධීය අරිෂ්ට නිෂ්පාදනය කර තිබේ. එවැනි ඖෂධයක් හිතුමතේට මිලදී ගෙන භාවිත කිරීමෙන් ශරීරයට විෂ විය හැකිය. සටහන - ශ්‍රියානි විජේසිංහ
 

More News..