brand logo

කොටි ප්‍රහාරකයන්ට අතුරුගිරියේත් සබඳතා

02 February 2019

අප 30 වසරක යුද්ධයක ශාපයට ගොදුරු වූයේ නියපොත්තෙන් කඩන්නට තිබූ දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තෙක් නිහඬව සිටීම හේතුවෙනි. යුද්ධයක විනාශය අත්දැක ඇතත් යළිත් සිදුවෙමින් පවතින්නේ එයමය. ජාත්‍යන්තර තලයේ ක්‍රියාත්මක කොටි සංවිධානය මෙරට උතුරේද යළිත් සක්‍රිය වෙමින් පවතින බවට දැන් ඕනෑතරම් සාක්ෂි ලැබී තිබේ. එහෙත් ඒ ගැන වගකිවයුත්තන්ගේ අවධානය ප්‍රමාණාත්මකව යොමු වී ඇතිද යන්න ප්‍රශ්නයකි. පසුගිය සතියේ අප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයේ ‘‘ප්‍රහාර හතරකට කොටි අර අඳී’’ යන පුවතය. මේ පුවත පළවීමෙන් පසු බොහෝ දෙනකු කලබලයට පත්ව තිබේ. නැති ප්‍රශ්න හදනවා යැයි ඇතැමෙකු අපට චෝදනා කරන්නටද විය. එහෙත් අප වාර්තා කර ඇත්තේ නැති ප්‍රශ්නයක් නොව ඇති ප්‍රශ්නයකි. නිහඬව සිටියහොත් දිගින් දිගටම ඇදී යා හැකි ප්‍රශ්නයකි. යුද්ධය නිමාවීමෙන් පසු නිහඬ වූ කොටි සංවිධානය යළිත් වරක් ඉන්දියාවේ අවි පුහුණුව ලබන බව මුල්වරට වාර්තා වූයේ 2011 වසරේදීය. 2011 වසරේ නොවැම්බර් 27 දා කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරමින් යාපනය තොණ්ඩමාරු හි දුරකථන සංඥා කුලුනක කොටි කොඩියක් එසවීමේ සිදුවීමක් වාර්තා විය. එම සිදුවීමෙන් පැය කීපයක් ගතවන්නටත් පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. ඉන්පසු කෙරුණු පරීක්ෂණවලදී හෙළි වූයේ මැලේසියාවේ සිටින කොටි ක්‍රියාකාරීන් ෆේස්බුක් හරහා උතුරේ තරුණයන් කොටි සංවිධානයට සම්බන්ධ කරගෙන ඇති බවය. මැලේසියාවේ සිට ඔවුන්ගේ මෙරට බැංකු ගිණුම්වලට මුදල් එවා ඔවුන්ව බෝට්ටු හා ගුවන් මගින් ඉන්දියාවට යවා තිබුණේ පුපුරන ද්‍රව්‍ය පුහුණුවීම් සඳහාය. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය බලධාරින් සමග සාකච්ඡා කොට හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ කණ්ඩායමක් ඉන්දියාවට පිටත් කළේ ය. පුහුණුවීම් කරමින් තිබූ ස්ථානය වටලා පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ‘‘ඔපරේෂන් ඩබල් ඒජ්’’ නමින් යළි සංවිධානය වෙමින් පවතින කොටි ජාලයක් පිළිබඳ තොරතුරු රැසක් මෙම මෙහෙයුමෙන් පසුව අනාවරණය කරගන්නට බුද්ධි අංශ සමත් විය. කොටි නව සන්නද්ධ නායක සුරේෂ්, දේශපාලන අංශ නායක ශිවකුමාර්, බුද්ධි අංශ සාමාජිකයන් වන කන්දන්, සුදාර්, අගිලන්, කලෙයිම්බම් ඉන්බෙන් ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මකව සිටින බවද හෙළි විණි. කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලකයන් වන වයිකෝ, නෙදුමාරන්, මල්ලායි සහ සත්‍යා වැනි අයගේ සහාය මොවුන්ට ලැබී තිබුණි. කෙසේ වෙතත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පසුගිය සමයේ දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් කටයුතු කරන තත්ත්වයක් උදාවූයෙන් යළිත් වරක් ඉන්දියාව කේන්ද්‍ර කරගත් කොටි ජාලය සක්‍රිය වී තිබේ. පසුගිය දිනෙක ඔඩ්ඩුසුඩාන්වලින් හසු වූයේ ඉන් එක් කණ්ඩායමක් පිළිබඳ තොරතුරුය. මෙම කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ පුදුකුඩුඉරිප්පු දිනේෂ් හා ගරාජයක් පවත්වාගෙන යන කරන් නමැති සාමාජිකයාගේ මූලිකත්වයෙනි. ඉන්දියාවට පළාගොස් සිටි දිනේෂ් යළි මෙරටට පැමිණ ඇත්තේ 2014 දීය. මොවුන් ඉන්දියාවේ සිට මන්නාරම හරහා අධිබල සීෆෝ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40 ක්, පිස්තෝල දහයක්, පුදුකුඩුඉරිප්පුවලට ගෙන්වාගෙන ඇති බව බුද්ධි අංශ තහවුරු කර ගෙන තිබේ. පසුගිය සතියේ අපගේ මුල් පුවතේ වාර්තාවට අදාළ වන්නේ පුලියන්කුලමේ සිට ක්‍රියාත්මක වන කොටි කණ්ඩායම්ය. මේ කණ්ඩායම් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වූයේ පුලියන්කුලමේදී ආයුධ මල්ලක් දමා පලාගිය ආනන්දරාසා නමැත්තා ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමෙනි. මෙම ආනන්දරාසා ද මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිට ඉන් මිදී ඉන්දියාවට පලාගොස් සිටි අයෙකි. ඔහු නැවත මෙරටට පැමිණ ඇත්තේ කෙසේද, කවදාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ආනන්ද රාසාට පුලියන්කුලමේ නවාතැන් සපයා අැත්තේ කල්‍යාණි දර්ශනී හෙවත් රූබි නම් කාන්තාවකි. ඒ ලයිකා ඥානම් නිවාස සංකීර්ණයේ වූ ඇයගේ නිවසේය. රූබි ඔහුට නවාතැන් දී ඇත්තේ පුලියන්කුලමේ ආයුධ මල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කාර්තික් කාන්ත රූබන් නමැත්තාගේ ඉල්ලීම පිටය. ඇයගේ සැමියා යුද හමුදාවෙන් පැන ගිය දෙමළ ජාතික සෙබළෙකි. යුද හමුදා කොමාන්ඩෝ බළකාය යොදවා නොච්චිකුලම් කැලයේ කළ මෙහෙයුම්වලදී කැලෑවැදී වගා කරමින් සිටි කොටි හිතවාදීන් පිරිසක් කොටුකරගෙන තිබේ. ආනන්ද රාසා මෙම පිරිස මෙහෙයවා තිබුණේ වෙන වෙනමය. සැඟවුණු කණ්ඩායම්වලට අවශ්‍ය සැපයුම් කිරීමට එක් පිරිසකි. ඔත්තු බලන්නේ තවත් පිරිසකි. වළදැමූ ආයුධ ගොඩගන්නේ වෙනත් පිරිසකි. ඉදිරි ප්‍රහාර සැලසුම් කරන්නේ තවත් පිරිසකි. යුද හමුදා භට පිරිස් හා පොලිසිය හුදකලා තැන්වලදී පහරදී අවි ආයුධ එකතු කරන්නට තවත් කණ්ඩායම් යොදවා තිබුණේය. මඩකලපුව වව්නතිව්හිදී පොලිස් නිලධාරීන්ට පහරදී වෙඩි තබා ඝාතනය කර ගිනි අවි දෙකක් පැහැර ගත්තේද මෙම කණ්ඩායමකි. දැනට සැක කෙරෙන්නේ දකුණේ පාතාලය සමග සිටින අප්පන් නමැති මුහුදු කොටියා මෙම ප්‍රහාරය පසුපස සිටින බවය. අප්පන් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඇති කරගත් සබඳතා මත පාතාල කණ්ඩායම් සමග එක්වී ඇත්තෙකි. අතුරුගිරියේදී හා තවත් ප්‍රදේශ කිහිපයකදී සිදුවූ පාතාල ඝාතන පසුපස අප්පන්ගේ කණ්ඩායම් සිටින බව බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. මෙම සතියේ කිලිනොච්චි වට්ටකච්චිහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් කාන්තාවගේ නිවසේ අප්පන් විසින් නැවැත්වූ පාතාලයන් දෙදෙනකු එහි මිදුලේ වළ දමා තිබූ දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බයක් රැගෙන ගිය බව හෙළිවී ඇත. කාන්තාව අල්ලන්නට කලින් දිනයේ මොවුන් එහි පැමිණ ක්ලේමෝ බෝම්බය රැගෙන ගිය බව තහවුරු වී තිබේ. එය රැගෙන ගියේ ඉලක්කයක් ගන්නටද නැතිනම් මතු ප්‍රයෝජනයට සඟවා තබන්නටද යන්න තවමත් හෙළිකර ගත නොහැක. මඩු රක්ෂිතය කොටි ග්‍රහණයෙන් මුදාගනිද්දී හමුදාවට මගහැරී ගිය කොටි වළ දැමූ අවි ආයුධ පසුගිය කාලයේදී ආනන්දරාසාගේ කණ්ඩායම් ගොඩගෙන තිබුණේය. පෙරියපන්ඩිවිරිච්චාන්හි කුටටිබේන් කොටි කඳවුරෙන් පවා මොවුන් අවි ආයුධ ගොඩගෙන ගිය බව විමර්ශනවලදී හෙළි වී තිබේ.. මේ අයුරින් ආනන්ද රාසා යටතේ අවි ආයුධ ගොඩගෙන ඉදිරි මෙහෙයුම් සැලසුම් කරද්දී ඉන්දියාවේ අලුතින් පුහුණු කරන කණ්ඩායම් රට තුළට එන බව බුද්ධි අංශ තහවුරු කරගෙන ඇත. දැන් සොයාගත යුතුව ඇත්තේ ඔවුන්ගේ ඉලක්ක මොනවාද යන්නය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..