brand logo

කොටි තර්ජන නිසා වසා දමා ඇති විදුහල විවෘත කරන ලෙස ඉල්ලා දෙමව්පියන් උද්ඝෝෂණයක

08 July 2019

කොටි තර්ජණ නිසා වසා දමා ඇති කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත්, මල්ලෑව ප්‍රාථමික විද්‍යාලය වහා විවෘත්ත කර සිසු සිසුවියන්ගේ හා ගම්වාසීන්ගේ ආරක්ෂාව සපයා දෙන ලෙස ඉල්ලමින් අද (08) දහවල් කොත්මලේ පූඬළුඔය ප්‍රධාන මාර්ගයේ, රත්ගම හන්දියේදී ප්‍රදේශයේ දෙමව්පියන් ඇතුලු පිරිසක් උද්ඝෝෂණයක නිරත වුහ. මෙහිදී උද්ඝෝෂණයට එක්ව සිටි දෙමව්පියන් කියා සිටියේ, මල්ලෑව ප්‍රාථමික විද්‍යාලය කාලයක් තිස්සේ පවතින කොටි තර්ජණ නිසා ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාසල දැනට දින 05 ක් තිස්සේ වසා දමා පාලුවට ගොස් ඇති බවත්, ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වන නිසා මල්ලෑව ශ්‍රීදළදා කරඬු විහාරස්ථානයේ තාවකාලිකව පන්ති පවත්වාගෙන යන බවත්ය.විහාරස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම නිසා ගස් යට හා ධර්ම ශාලාවේ බිම වැතිරී අධ්‍යාපන කටයුතුවල ඉතා දුෂ්කර අයුරින් නිරතවන බවත් පවසති. කැළෑ ප්‍රදේශයක ඉතා අනාරක්ෂිත ලෙස පවත්වාගෙන යන මල්ලෑව ප්‍රාථමික විදුහලේ පහසුකම් ඉතා අවම මට්ටමක පවතින බවත්, පාසලේ අනාරක්ෂිත තත්වය හේතුවෙන් වෙනත් පාසල් සඳහා තම ළමයින් යැවීමට මල්ලෑව පාසලෙන් අස්වීමේ අනුමැතිය ලබා නොදෙන බවත් පවසන මෙම දෙමව්පියෝ, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් 11 දෙනෙක් පමණ පෙනී සිටින නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමට මෙම තත්වය බලපා ඇති බවත් කියා සිටිති. ප්‍රදේශයේ කොටියන් කීප දෙනෙක් සැරිසරණ බවත්, මේ වන විට ගවයන්, එළුවන් හා සුනඛයින් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවත් පවසන උද්ඝෝෂකයෝ, පවතින අනාරක්ෂිත තත්වය සම්බන්ධව කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ බලධාරීන්, නුවරඑළිය වන ජීවි නිලධාරීන් ඇතුලු වගකවයුත්තන් කීප වරක් දැණුම්වත් කර ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති නිසා සතියක කාලයක් තුළ පැහැදිලි විසඳුමක් ලබා නොදුනහොත් විසඳුමක් ලැබෙන තෙක් උද්ඝෝෂණයක නිරතවන බවත් ඔව්හූ වැඩිදුරටත් කියා සිටියහ. හැටන් චන්දන ජයවීර
 

More News..