brand logo

කොට්ටාව ගුවන් පාලම ළඟදී ආර්.පී.ජී. ගහන්න පාතාලය සැලසුම් කළ හැටි

21 July 2019

රජ​යේ හමුදාවන්ට කලින් නවීන ආයුධ භාවිත කරන්නට එල්.ටී.ටී.ඊ.ය කටයුතු කළ අවස්ථා අනන්තවත් තිබුණේය. ගුවන් යානා නාශක සෑම් මිසයිල්, යුද ටැංකි නාශක, ආර්.පී.ජී. රොකට් අවි පවා රජයේ හමුදාවන්ටත් කලින් ලංකාවට මුලින්ම ගෙන ආවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. ත්‍රස්තවාදී සංවිධානවලට අවි සපයන විදෙස් ජාවාරම්කරුවන් මාර්ගයෙන් අවි ආයුධ ගෙන එන්නට එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ට හැකි විය. මේ අතර උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් මාර්ගයෙන් අවි ආයුධ ලබාගෙන දකුණේ පාතාලයද හිස ඔසවන්නට පටන් ගත්තේය. ඒ එදාය. එහෙත් අද එල්.ටී.ටී.ඊ. සංවිධානය නැතත් පාතාලය තම ප්‍රතිවාදීන් ඝාතනය කරන්නට ආර්.පී.ජී. අවි පවා රැගෙනවිත් තිබෙන බව මේ සම්බන්ධයෙන් වන අලුත්ම ආරංචියයි. පාතාලය විසින් ආර්.පී.ජී. අවි ගෙන ඒම හෙළිකරගෙන ඇත්තේ බුද්ධි අංශය විසිනි. ඒ සමගම පොලිසියද තැතිගෙන තිබේ. ‘ආර්.පී.ජී.’ (රොකට් ප්‍රොප්ලර් ග්‍රෙනේඩ්) යනු යුද කටයුතුවලදී භාවිත කරන බිහිසුණු අවියකි. යුද්ධයේදී එය භාවිත කරන්නේ යුද ටැංකි නාශක (ඇන්ටි ටෑන්ක් මිසයිල්) අවියක් වශයෙනි. යුද ටැංකිවල තිබෙන ලෝහමය කොටස් ක්ෂණයකින් සෙන්ටිග්‍රේඩ් අංශක 36,000ක් තරම් ඉහළ උෂ්ණත්වයකට පත්කර පුපුරුවා වනසා දැමීම එහි ක්‍රියාවලියයි. ඉන් පහර දෙන්නේ දුර සිටය. මෙම ගිනි අවිය භාවිත කරන්නේ උර මත රඳවා ගනිමිනි. පාතාලය හා එල්.ටී.ටී.ඊ. ය එක්වී ප්‍රභූ ඝාතන තැතකට පවා වෙරදැරූ බව රාජ්‍ය බුද්ධි අංශ මගින් මෑත කාලයේදීත් සාක්ෂි සහිතව අනාවරණය කරගෙන තිබිණි. එබැවින් මේ කාරණය ඉතා බරපතළ එකක් වූයේය. අප්පන් හෙවත් වේන්ද්‍රන් හා අයියර්වරයකු ඇතුළු ගණේමුල්ල සංජීවගේ පාතාලය සමග සබඳකම් පැවැත්වූ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් පිරිසක් වන්නියෙන් කොටුවන්නේ මීට මාසයකට ඉහතදීය. රාජ්‍ය ඔත්තු සේවාව (SIS) හා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ලබාදුන් තොරතුරු මත පදනම්ව කොළඹ අපරාධ කොට්ඨාසය අප්පන් හෙවත් වේන්දන් හා පූජකවරයා කොටුකර ගත්තේය. එය එල්.ටී.ටී.ඊ. ය හා පාතාලය දකුණේ අපරාධ සඳහා එක්වූ බවට හොඳම සාක්ෂිය වූයේය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප්‍රංශයේ කොටි හිතවාදීන් හා මාකඳුරේ මධුෂ්ගේ සහාය ගෙන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැතක් ගැන විමර්ශන කෙරෙන්නේත් මේ අතරය. පුදුකුඩිඉරිප්පුහිදී හමුදා බුද්ධි මෙහෙයුමකදී අනාවරණය වූ දිනේෂ්, ශංකර් කණ්ඩායම්වල සහායෙන් ප්‍රභූ ඝාතන සඳහා නැගෙනහිරට ස්නයිපර් අවි දෙකක් හා ඉන්දියාවෙන් ‘සීෆෝ’ පුපුරන ද්‍රව්‍ය කිලෝ දෙකක් ගෙන ආ බවද හෙළි වුවත් අදටත් ඒවාට වූ දෙයක් සොයාගෙන නොමැත.​ කොස්ගොඩ සුජී නමැති ‘පාතලයේ ගෝඩ් ෆාදර්’ මෙරටට ගෙන්වූ ආර්.පී.ජී. ඇතුළු නවීන අවි ආයුධ තොගයක් ගැන තොරතුරු හෙළි වන්නේ මීට පෙර සිදුවීම් ගැන සාක්ෂිද එළිපිටම තිබියදීය. එහි බරපතළකම වූයේ එම අවි ආයුධ අතර යුද ටැංකියක් පවා උණු වී යන තරම් ප්‍රහාරයක් එල්ල කළ හැකි ආර්.පී.ජී. අවි දෙකක්, ටී56 අවි දහයක් හා පිස්තෝල හයක්ද තිබෙන වග හෙළිවීමය. බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරු අනුව ආයුධ සහිත බෝට්ටුව එන්නේ කුඩුත් (හෙරොයින්) සමගය. පාකිස්තාන්, ඇෆ්ගනිස්ථාන් මෙන්ම ඉරාන් ජාවාරම්කරුවන් සමග එක්ව හෙරොයින් (මත්කුඩු) ගෙන්වන අතරේ අවි ආයුධ ලංකාවට ගෙන එන බව අනාවරණය වන්නේ කාලයක් තිස්සේ කරන විමර්ශනවලදීය. මෑතකදී ඉරාන බෝට්ටුවක් සමග කුඩු තොගයක් අල්ලාගත් මොහොතේදීත් කියැවුණේ එහි ටී56 අවි තුනක් හා පිස්තෝල තිබුණු බවය. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයත් නාවික හමුදාව සමග ගොස් මුහුද මැදදී අල්ලාගත් ඉරාන යාත්‍රාවේ කුඩු කිලෝග්‍රෑම් 107ක් සොයා ගත්තේය. වැටලීම් කරන විටම එහි තිබූ කිලෝ පන්සීයක් පමණ බරැති අවි ආයුධ සමග තවත් බඩු මුහුදට දැමූ වග බුද්ධි අංශ පසුව සොයා ගත්තේය. නාවික හමුදාව අවසන් වරට කුඩු කිලෝ හැටක් සමග යාත්‍රාවක් අල්ලාගත් මොහොතේත්, එහි තිබී පිස්තෝලයක් හමුවන්නේ අවි ආයුධ මෙරටට එන බවට කදිම සාක්ෂි ගෙන එමිනි. පාකිස්තාන්, ඇෆ්ගන් සීමාවේ සිට හෙරොයින් බෙදාහැරීම පසුපස සිටින්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ය. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයද කුඩු හා අවි ආයුධ ජාවාරමය. මේ අනුව දැනට ඇති බුද්ධි තොරතුරු මත මෙරටට කුඩු සමග අවි ආයුධ ගෙන ඒම පසුපස ඇත්තේත් අයිඑස් ත්‍රස්තවාදීන්ගේ ජාලයය. මෙම අවි ආයුධ මෙරට ක්‍රියාත්මක අන්තවාදීන් අතටත් යනවාදැයි සෙවීම බුද්ධි අංශවලට ඇති මීළඟ අභියෝගයය. බුද්ධි තොරතුරුවලට අනුව කොස්ගොඩ සුජීට ආ ආර්.පී.ජී. අවි දෙක ඩිස්පෝසබල් වර්ගයේ (එක්වරක් පමණක් භාවිත කළ හැකි) ඒවාය. ප්‍රහාරයෙන් පසුව දමා පැන යා හැකි මෙම අවි හමුදා දිගැදුර මෙහෙයුම් සඳහාත් යොදාගෙන තිබිණි. ‘‘මේකේ සුජීගේ ඉලක්කය වෙලා ඉන්නේ කොස්ගොඩ තාරකවයි. තාරක දැනට ඉන්නේ වැලිකඩ සී.ආර්.පී. (රිමාන්ඩ්) එකෙයි. තාරක එන ප්‍රිසන් බස් එකට ගහන්න තමයි ප්ලෑන් එක තිබිලා තියෙන්නේ. මේ ඔපරේෂන් එකට සුජියා ඩුබායි ඉඳන් ඌරගහ මයිකල්ව මෑතකදී ලංකාවට එවලා තියෙනවා. මයිකල් පාතාල මර්දනයට බයෙන් ලංකාවෙන් පැන්න එකෙක්. සුජියගේ සෙට් එකේ හොඳම වැඩකරුවෝ අතරේ මයිකල් හිටියා. ඌරගහ මයිකල් දකුණේ කන්ට්‍රැක්ට්වලට මැරුවේ කෙනඩි කියන එල්ටීටීඊ ෂූටර් කෙනෙක් දාගෙනයි. සුජියා බූස්සේ හිරගෙදර ඉද්දි තමයි කෙනඩි හෙවත් ‘බුම්මා’ කියන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ ආරක්ෂාවට හිටපු කොටින්ගේ ෂූටර්ව ගේම්වලට දාගත්තේ. එල්ටීටීඊ එකෙන් දාලා මිනීමැරුවේත් මුලින්ම කොස්ගොඩ සුජියා’’ යැයි පාතාල මර්දන ඒකකයක බුද්ධි නිලධාරියකු අනාවරණය කළේය. කොස්ගොඩ තාරකට එරෙහිව කොස්ගොඩ සුජී ඩුබායි සිටම මරණ වරෙන්තුව නිකුත් කරන්නේ 2017 වසරේදී තම මාමා වූ ජගමුණි මහින්ද රාජා ඇතුළුව ඔහුගේ පවුලේ සිව්දෙනකු එකම දිනක ඝාතනය කිරීමේ පළිය ගන්නටය. කොස්ගොඩ පොලිස් වසමේ යුද පිටියක් කරමින් ගම් තුනකට පැය භාගයක් තුළ කඩාවැදී හතරදෙනාම මරා දැමුවේ ‌කොස්ගොඩ තාරක ඇතුළු කණ්ඩායමකි. මහින්ද රාජා කලක් බළපිටියේ එජාප මන්ත්‍රීවරයකුද වූයෙන් කොස්ගොඩ සුජීට ඔහුගෙන් විශාල රැකවරණයක් විය. මාමාගේ පවුලට කළ අපරාධයට ලෙයට ලෙය පළිගන්නට කොස්ගොඩ සුජී තම කණ්ඩායම් යවා 2017 ඔක්තෝබර් 31දා රාත්‍රියේ බටපොළදී කොස්ගොඩ තාරකගේ මාමා වූ අසංක මනෝරාජ්ද සොයිසා ඇතුළු දරුවන් තිදෙනාත් අසල සිටි අයකුත් ඇතුළු පහකට වෙඩි තැබූහ. එතැනදී පස්දෙනාම තුවාල ලබා බේරුණෙන් සුජී තම පළිය කොයි මොහොතේ හෝ ගන්නට සැලසුම් කළද තාරක සැඟවුණු චරිතයක් නිසා කොටු කරගත නොහැකි විය. මංකොල්ලකෑම් හා අපරාධ රැසකට අවශ්‍යව සිටි කොස්ගොඩ තාරක මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ලකන්නේ කොල්ලය නතර කරන්නට ආ පොලිස් නිලධාරියකුද ඝාතනය කරමිනි. තාරක සමග කොල්ලයට පැමිණි හබරකඩ වසන්ත ඇතුළු පිරිසක් පසුව මරු තුරුලට යවන්නේත් එහි වාඩුව ගන්නටය. මෙම සිද්ධියෙන් පසු බන්ධනාගාරගත වන කොස්ගොඩ තාරකව හිරගෙදරදී මරන්නට සැලසුම් කර අවි ආයුධ ඩුබායි සිට එවන්නේ මිනුවන්ගොඩ අසිත, රණාලේ සමයං වැනි පාතාල නායකයන් බන්ධනාගාර බසය තුළදීම ඝාතනය කළ ආකාරයට මරා දමන්නටය. රණාලේ සමයංව කළුතර බන්ධනාගාරයට බන්ධනාගාර බස් රථයකින්ම ගොස් ඝාතනය කිරීමට අංගොඩ ලොක්කා හා මාකඳුරේ මධුෂ් සැලසුම් කරන්නේ ඒ සඳහා බස් රථයක්ද සූදානම් කරමිනි. ඒ දෙසැම්බර් 31දා රාත්‍රී 12.00ට රටේම රතිඤ්ඤා වෙඩි අස්සේ බන්ධනාගාර බස් රථයකින් හිරගෙදරට කඩාවැදීමටය. එයට බස් රථයක්ද යොදාගෙන තිබිණි. බන්ධනාගාරයට ගොස් සමයං ඝාතනය කරන්නට වූ සැලසුම අවසන් මොහොතේ වෙනස් කර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බසයට පහර දී අතරමගදී ඝාතනය කරන්නේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද සමගය. මිනුවන්ගොඩ අසිතට පස් පාතාලයේ ගැටුමකට පාලමක් මතදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබන්නේ ටිපර් මත නැගී පැමිණි ප්‍රතිවිරුද්ධ පස් පාතාල කණ්ඩායමක් විසිනි. අසිත සමග බන්ධනාගාර නිලධාරීන්ද එම වෙඩි වරුසාවෙන් මරු දැක්කේය. කොස්ගොඩ තාරක ඉලක්ක කරගෙන මෙවර ප්‍රහාරය සැලසුම් කරන්නේ ආර්.පී.ජී. අවි යොදාගෙනය. ඉකුත් බදාදා (17දා) හෝමාගම උසාවියේ නඩුවකට කොස්ගොඩ තාරක රැගෙන යන්නට සූදානම් වෙද්දී බන්ධනාගාර නිලධාරීන්ට බුද්ධි තොරතුරක් ලැබෙන්නේ පාතාල මර්දන ඒකකවලිනි. කොස්ගොඩ තාරකටත් හිරගෙදරටම අපරාධ මර්දන ඒකකයක ලොක්කකුගෙන් මෙම තර්ජනය ගැන අනතුරු හැඟවීමක් ලැබෙන්නේ බන්ධනාගාර නිලධාරීන් එය දැනගන්නටත් කලින්ය. ​හෝමාගම උසාවියට ගෙන යන අතරේ කොට්ටාව අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වන ගුවන් පාලම මතදී කොස්ගොඩ තාරක යන බස් එකට පහර දෙන සැලසුමක් ගැන අනතුරු හැඟවීමෙන් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලිසියද කඩි ගුලක් මෙන් ඇවිස්සුණේය. විශේෂ ආරක්ෂාවක් මැද තාරකව නඩුවට රැගෙනවිත් ආරක්ෂක උපක්‍රම යොදමින් යළි නිරුපද්‍රිතව බන්ධනාගාරයට රැගෙන එන අභියෝගය ලැබුණේ ජේලර් දුමින්ද ඇතුළු පළපුරුදු බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමකටය. මොවුන්ගේ සහායට විශේෂ පොලිස් කණ්ඩායමක්ද ලබාදී තිබුණේය. තාරකව හැකි ඉක්මනින් අධිකරණය වෙත ඉදිරිපත් කර රැගෙන ගියේය.කොස්ගොඩ තාරකව මරන්න අතරමග ඔත්තු බැලීමේ කණ්ඩායම් යොදවා ඇති බව බුද්ධි අංශද අනාවරණය කරගත්හ. තාරකට එරෙහිව ඇති නඩුවලට කළුතර, බළපිටිය, මොරටුව, ගල්කිස්ස, ගංගොඩවිල, හෝමාගම අධිකරණවලට රැගෙන එන අතර එම අවස්ථාවල පහරදීමට උත්සාහ කරන බව පාතාල මර්දන ඒකකද අනාවරණය කරගෙන තිබුණේය. කොස්ගොඩ සුජී මෙම ඉලක්කය ගැනීමට පවරා තිබුණේ තමා​ගේ ළඟම සගයන් වූ දකුණේ පාතාලයේ රණා, රාජු, කරන්දෙණියේ සුදු මල්ලි, පොඩි ලැසී ඇතුළු ගාල්ල බන්ධනාගාරයේ රජ කරන කණ්ඩායමටය. නමුත් ඔවුන්ට ඉලක්කයන් වෙත යෑමට අසීරු නිසා ඌරගහ මයිකල්වත් ලංකාවට එවූ බව කියැවෙන්නේය. ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ආර්.පී.ජී. ඇතුළු අවි ආයුධ රටට ඇතුළු වී ඇත්තේ වැලිගමට නුදුරු මිරිස්ස ප්‍රදේශයෙනි. මෙම තොරතුරු අනුව දැන් දකුණේ පොලිසිද කැලඹී ගොසිනි. ඒ, මෙම අවි ආයුධ තවත් ලේ වැගිරීමකට මිස වෙනකකට නොවන බව දන්නා නිසාය. ආයුධ සමග ගොඩබාගත් හෙරොයින් තොගය හික්කඩුවේදී සුරාබදු නිලධාරින්ට කොටු වුවත් සුජීගේ ආයුධ තොගය සඟවා ඇති තැනක් තවමත් හෙළිවී නැත. ‘‘ආර්.පී.ජී. අවි පාවිච්චි කරලා සෙනග ඉන්න තැනකදී ගැහුවොත් මහා විනාශයක් වෙන්න පුළුවන්’’ යැයි බුද්ධි නිලධාරීන්ද පෙන්වා දුන්නේය. දැන් කළ යුතුව ඇත්තේ කෙසේ හෝ මෙවැනි අවි ආයුධ ගෙනැවිත් සඟවා ඇත්නම් බුද්ධි මෙහෙයුමකින් ඒවා සොයා ගැනීමය. ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර ඇතත් අදටත් කොස්ගොඩ සුජී හෙවත් ජගමුණි සුජීව ද සොයිසා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වාගත නොහැකිව ඇත්තේය. මාන්නගේ දොන් රොෂාන් පද්ම කුමාර නමින් 55233373 දරන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් 2016 පෙබරවාරි 14දා ඩුබායි බලා ගිය සුජීගේ විවාහයට පවා අත්සන් කර රටින් පනින්නට උදව් කරන්නේත් වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයකුමය.ගණේමුල්ල මාකිලංගමුවේ සංජීව නමැති එල්.ටී.ටී.ඊ. කල්ලි සමග සබඳතා පැවැත්වූ පාතාල නායකයා සමගත්, කිඹුලාඇළ ගුණාගේ කල්ලි සමගත් සෘජු සබඳතා පවත්වන කොස්ගොඩ සුජී ඉදිරියේදී මෙවැනි ආයුධ යොදා එල්.ටී.ටී.ඊ. යේ හෝ අන්තවාදීන්ගේ වුවමනාවට ප්‍රභූ ඝාතනයක් වුව කරන්නට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය. ඒ ගැනද අනතුරු අඟවති. කොස්ගොඩ සුජීට දැන් ඩුබායි රාජ්‍යයෙත් සැඟවී සිටින්නට සිදුව ඇති බව ඩුබායි රාජ්‍යයේ සිට ‘අරුණ’ ට කතා කළ පාතාල ඔත්තු සපයන්නකු සඳහන් කළේය. ‘‘කොස්ගොඩ සුජී ගණිකාවක් දාලා හලාවත සමන්ව එක්ස්ටසි ටැබ්ලට් එක්ක අල්ලලා දුන්නා. එදා සමන්ගේ ගෙදර දානයක් තිබිලා පස්සේ පාටියක් දැම්මා. එතැනට ගණිකාවක් සෙට් කරලා ටැබ්ලට් දාලා යවලා තමයි සමන්ව කොටු කළේ. සමන් තමයි වැඩිපුරම බෝට්ටුවලින් කුඩු ලංකාවට ගෙනැත් දුන්නේ. මොරිල්ලගේ, සුජීලගේ ඔක්කොම බඩු ගෙනාවේ සමන් අයියා තමයි. බල්ගේරියන් ජාතික නාකොටික් ඔෆිසර් කෙනෙක් ඉන්නවා ඔලිත් කියලා. මොරිල් එයාගේ ඔත්තුකාරයෙක්. කුඩු මොරිල්ගේ ගෙදර පැනපු වෙලාවේ ඩිරාම් ලක්ෂ ගාණක් ඔමිත්ට අහුවුණා. එතැන ලංකාවේ මුදලින් කෝටි දෙක තුනක්. ඒ සල්ලි දීලා තමයි මොරිල් ඔමිත් කියන ඒ රටේ නාකොටික් ඔෆිසර් සෙට් කරගත්තේ. ඊට පස්සේ මොරිල් එයාගේ ඔත්තුකරුවෙක් විදිහට වැඩ කරන අතරේ මාකඳුරේ මධුෂ්වත් පාටියේදි අල්ලලා දුන්නේ ඔමිත් කියන නිලධාරියට ඔත්තුවක් දීලයි. ඔමිත්, මධුෂ්ව අල්ලන්න හිටියේ පන්සලකට යද්දියි. ඔමිත් නිසා ඩුබායි පාතාලයේ අපේ එවුන් භාගයක් රඟනවා. මොරිල්ලා, සුජීලා එකතුවෙලා තමයි හලාවත සමන් කොටු කළෙත්. දැන් ඒකට ඩුබායි ඉන්න සමන්ගේ සෙට් එක සුජියව කොටු කරන්න සැලසුම් කරගෙන යනවා. සමන් අවුරුදු ගාණක් ඩුබායි හිටපු නිසා එහේ කට්ටිය ළඟදිම සුජියටයි, මොරිල්ටයි ගේමක් සෙට් කරන්න පුළුවන්’’ යැයි ඩුබායි පාතාලයා ‘අරුණ’ ට හෙළි කළේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා ඡායාරූප - හේමන්ත ලියනපතිරණ [caption id="attachment_37194" align="alignnone" width="800"] කොස්ගොඩ තාරක හෝමාගම අධිකරණයෙන් බදාදා දින ආරක්ෂිතව ගෙන ආ මොහොත[/caption]
 

More News..